Ultimate magazine theme for WordPress.

වනිදුගේ හා භානුකගේ සුපිරි දක්ෂතා හමුවේ ශ්‍රී ලංකාව 6 වැනි වරටත් ආසියානු ශූරයින් වෙයි

Match Report

6 වැනි වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක ශූරතාවය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(11) සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකාවේ සත්කාරක අයිතියට යටත්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙවර පැවැති පන්දුවාර 20යි 20 ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී පාකිස්තාන කණ්ඩායම ලකුණු 23 කින් පරාජයට පත් කරමින්.

තරගයේ තීරණාත්මක කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තානය සමත් වුණේ ඩුබායි තණතීරුවේ පළමුව පන්දුවට පහර දීමේ අභියෝගය ශ්‍රී ලංකාවට ලබා දෙමින්.

නායක බාබර් අසාම් ගත් එම තීරණයට වේග පන්දු යවන්නන් ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නන් උපරිම සාධාරණය ඉටු කළේ ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 58 දී දවා ගනිමින්.

කුසල් මෙන්ඩිස් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, පැතුම් නිස්සංක ලකුණු 8යි. ධනුෂ්ක ගුණතිලක එක් ලකුණුකට දැවී ගියා. අලංකාර හතරේ පහරවල් කිහිපයකින් සිය ඉනිම ගොඩ නගමින් සිටි ධනංජය ද සිල්වා ලකුණු 28(21) කට දැවී ගියේ ඉෆ්ටිකාර් අහ්මඩ්ගේ පන්දුවක් හමුවේයි. ෂඩාබ් ඛාන්ගේ පන්දුවක් හමුවේ නායක දසුන් ශානක ලකුණු 2කට දැවී ගියා.

අනතුරුව 6 වැනි කඩුල්ල සදහා පන්දු 36 කින් ලකුණු 58 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට භානුක රාජපක්ෂ සමගින් පිටියේ එක් වූ වනිදු හසරංග සමත් වුණේ ශ්‍රී ලංකාව යළි සටනට අවතීර්ණ කරමින්.

වනිදු පන්දු 21 කින් ලකුණු 36 ක් ලබා ගත්තා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 5 ක් සමගින්. දැඩි පීඩනයක් යටතේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ පන්දු 45 කින් නොදැවී ලකුණු 71 ක් රැස් කළා. හයේ පහර 3 කින් හා හතරේ පහර 6 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා. චාමික කරුණාරත්න නොදැවී ලකුණු 14 යි.

ඒ් අනුව ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 170 ක්.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් ලකුණු 29 කට කඩුලු 3 ක් දවා ගත්තා. නසීම් ශාහ්, ශඩාබ් ඛාන් හා ඉෆ්ටිකාර් අහ්මඩ් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

ආසියානු කුසලානය ජය ගැනීම සදහා ලකුණු 171 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 147 ක් පමණයි.

ඉනිමේ පළමු පන්දුවාරය යොමු කළ ඩිල්ෂාන් මදුෂංක පළමු පන්දුව නිපන්දුවක් ලෙස යොමු කළ අතර, අනතුරුව යැවූ පන්දු හතරම වයිඩ් පන්දු බවට පත් වුණා. ඒ අනුව ඔහු පළමු නීත්‍යානුකූල පන්දුව යොමු කරන විට පාකිස්තානයට අතිරේක ලකුණු 9ක් ලැබී තිබීම විශේෂත්වයක්.

පාකිස්තාන ඉනිමේ පළමු කඩුලු දෙක පිට පිට පන්දු දෙකකදී දවා ගැනීමට ප්‍රමෝද් මදුෂාන් සමත් වුණා. ඔහුගේ පන්දු හමුවේ එලෙස දැවී ගියේ බාබර් අසාම් (ලකුණු 5) හා ෆකාර් සමාන්(ලකුණු 0).

අනතුරුව ඉෆ්ටිකාර් අහ්මඩ් එක් ලකුණක් ලබා සිටියදී දවා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් උදා වූ නමුත්, විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ලබා නොගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එම කඩුල්ල දවා ගැනීමේ අවස්ථාව අහිමි වුණා. ඩිල්ෂාන් මදුෂංක යොමු කළ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අතට ඉෆ්ටිකාර් අහ්මඩ් උඩ පන්දුවක් ලබා දුන් නමුත්, එය දැවී යාමක් ලෙස විනිසුරු විසින් ප්‍රකාශයට පත් කළේ නැහැ. ශ්‍රී ලංකාව විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ද යොදා නොගැනීම හේතුවෙන් එම කඩුල්ල අදාළ අවස්ථාවේ දී දවා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වුණා.

එහි ප්‍රතිපලයක් ලෙස ඉෆ්ටිකාර් හා මොහමඩ් රිස්වාන් තෙවැනි කඩුල්ල සදහා ලකුණු 71(59) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුණා. ඉෆ්ටිකාර් ලකුණු 32(31) කට දැවී ගියා. මොහමඩ් නවාස් ලකුණු 6 යි.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ මොහමඩ් රිස්වාන් පන්දු 49 කින් ලකුණු 55 ක් වාර්තා කළ නමුත්, පාකිස්තානයේ ජයග්‍රහනයට එය ප්‍රමාණවත් වූයේ නැහැ. අසිෆ් අලී පළමු පන්දුවෙන්ම දැවී ගියා. කුෂ්දිල් ශාහ් ලකුණු 2යි. රිස්වාන්, අසිෆ් හා කුෂ්දිල්ගේ කඩුලු තුනම සිය අවසන් පන්දුවාරයේ දී දවා ගැනීමට වනිදු හසරංග සමත් වුණේ තරගයේ පාලනය සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

අනතුරුව ශඩාබ් ඛාන් ලකුණු 8 කටත්, නසීම් ශාහ් ලකුණු 4 කටත්, හැරිස් රවුෆ් ලකුණු 13 කටත් දැවී ගියේ ශ්‍රී ලංකාවට පළමු වරට 20යි 20 ආසියානු ක්‍රිකට් ශූරතාවයක් හිමි කර දෙමින්.

පන්දු යැවීමේ දී ප්‍රමෝද් මදුෂාන් ලකුණු 34 කට කඩුලු 4 ක් දවා ගත් අතර, වනිදු හසරංග කඩුලු 3ක් බිද හෙලුවේ ලකුණු 27 ක් ලබා දෙමින්.

චාමික කරුණාරත්න කඩුලු 2ක් ද, මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් ද දවා ගත්තා.

අවසන් තරගයේ වීරයා ලෙස භානුක රාජපක්ෂත්, තරගාවලියේ වීරයා ලෙස වනිදු හසරංගත් සම්මානයෙන් පිදුම් ලැබුවා.

Leave a comment