Ultimate magazine theme for WordPress.

වනිදුගේ කඩුලු ත්‍රිත්වය අපතේ යවමින් දකුණු අප්‍රිකාවට කඩුලු 4ක තියුණු ජයක්

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අවම මට්ටමකට පත් කර ගැනීමට ශ්‍රී ලංකාවට අද(30) සිදු වුණා.

ඒ, තරගාවලියේ 25 වන තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු 4ක තියුණු පරාජයක් ලැබීමත් සමගයි.

සාජා ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 142ක්.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වෙමින් පන්දු 58කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 72ක්.

හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

චරිත් අසලංක පන්දු 14කින් ලකුණු 21ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වීම ශ්‍රී ලංකා ඉනිමට දැඩිව බලපානු ලැබුවා.

මෙම තරගයේ දී අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි භානුක රාජපක්ෂ ලකුණු නොලබා දැවී ගිය අතර, අංක 5 පිතිකරු ලෙස පැමිණි අවිශ්ක ප්‍රනාන්දු මෙම තරගයේ දී ද අසාර්ථක වෙමින් ලකුණු 3කට දැවී ගියා. නායක දසුන් ශානක ලකුණු 11යි.

පැතුම්, චරිත් හා දසුන් හැරුණු විට වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සිමාවට ළගා වුණේ නැහැ.

SLC

පන්දු යැවීමේ දී ටැබ්රයිස් ශම්සි හා ඩ්වේයන් ප්‍රෙටෝරියස් කඩුලු 3 බැගින් දවා ගත්තා. අන්රිච් නොකියා කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6ක් දැවී සිටියදී යි.

රීස් හෙන්ඩ්‍රික්ස් ලකුණු 11කටත්, ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 12කටත් දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත් වුණා.

රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 16කට දුවද්දී දැවී ගියේ දසුන් ශානකගේ සුපිරි පන්දු රැකීමක් හමුවේයි.

අනතුරුව ටෙම්බා බවුමා හා ඒඩ්න් මාක්‍රම් අතර 4 වැනි කඩුල්ල සදහා ලකුණු 47ක සබදතාවයක් ගොඩ නැගුණා. එම සබදතාවය බිද වැටුණේ වනිදු හසරංග විසින් මාක්‍රම්ගේ කඩුල්ල දවා ගැනීමත් සමගයි. ඔහු ලකුණු 19ක් රැස් කළා.

ටෙම්බා බවුමා ලකුණු 46 ක් ලබා සිටිය දී දැවී ගියේ වනිදු හසරංගගේ දෙවැනි කඩුල්ල ලෙසයි. අනතුරුව ඩ්වේයන් ප්‍රෙටෝරියස් ද පළමු පන්දුවෙන්ම දවා ගත් වනිදු හසරංග කඩුලු ත්‍රිත්වයක් බිද හෙලීමට සමත් වීම කැපී පෙනුණා.

පසුගිය තරගයේදී ඩේවිඩ් වෝනර් ලබා දුන් පහසු උඩ පන්දුවක් රැක ගැනීමට නොහැකි වූ කුසල් පෙරේරා අතින් මෙම තරගයේ දී ද ටෙම්බා බවුමා ලකුණු 7 ක් ලබා සිටිය දී ලබා දුන් පහසු උඩ පන්දුවක් ගිලීහී යාම විශේෂත්වයක්.

තරගයේ අවසන් පන්දුවාරයේ දී දකුණු අප්‍රිකාවට තරගය ජය ගැනීම සදහා ලකුණු 15ක් අවශ්‍ය වුණා.

ළහිරු කුමාර යොමු කළ එම පන්දුවාරයේ දෙවැනි හා තෙවැනි පන්දුවලට දැවැන්ත හයේ පහර දෙකක් එල්ල කළ ඩේවිඩ් මිලර් තරගයේ ජය ශ්‍රී ලංකාවෙන් උදුරා ගත්තා. මිලර් පන්දු 13කින් නොදැවී ලකුණු 23ක් රැස් කළා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 20කට කඩුලු 3ක් දවා ගත් අතර, දුෂ්මන්ත චමීර ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත්තා.

Leave a comment