Ultimate magazine theme for WordPress.

ලෝක කුසලානයේ නැගී එන ක්‍රීඩකයින් 4 දෙනා අතරට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක් නම් කෙරේ

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ(14) අවසන් වුණේ ඔස්ට්‍රේලියාවට පළමු වරට ශූරතාවය හිමි කර දෙමින්.

නවසීලන්තය යළිත් වරක් සීමිත පන්දුවාර ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයක් පරාජයට පත් වීම ද මෙහි ඇති තවත් සුවිශේෂී කරුණක්.

තරගාවලියේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් කණ්ඩායමක් බවට පාකිස්තානය පත් වුණේ ඔවුන් තරගාවලිය පුරා දැක් වූ සුපිරි ක්‍රීඩා විලාශය හේතුවෙන්.

සුපිරි 12 වටය අපරාජිතව අවසන් කළ පාකිස්තානය අවසන් පූර්ව තරගයේ දී ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත් වුණේ දෙවැනි වරටත් 20යි 20 ලෝක ශූරයින් වීමේ පාකිස්තාන ප්‍රේක්ෂකයින්ගේ සිහිනය බොද කරමින්.

තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම කෙරෙහිද ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ බව නොරහසක්.

විශේෂයෙන්ම තරුණ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා සැබවින්ම ප්‍රශංසනීයයි.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී දැක ගත හැකි වූ නැගී එන ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින් දැක් වූ අදහස් ඇතුළත් වීඩියෝවක් ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් නිකුත් කර තිබෙනවා.

එහිදී බොහෝ දෙනෙකු නැගී එන ක්‍රීඩකයා ලෙස නම් කළේ ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු චරිත් අසලංකයි.

සයිමන් ඩූල්, ඩැනී මොරිසන්, නසාර් හුසේන් හා Natalie Germanos යන ජාත්‍යන්තර විස්තර විචාරකයින්ගේ අවධානය ඔහු වෙත හිමි වීම විශේෂත්වයක්.

ඔහුට අමතරව මෙවර තරගාවලියේ නැගී එන ක්‍රීඩකයෙකු ලෙස පාකිස්තානයේ අසිෆ් අලී හා නවසීලන්තයේ ඩැරල් මිචෙල් සම්බන්ධයෙන් ද සයිමන් ඩූල් අදහස් පල කළා.

මෙම වීඩියෝවේ අදහස් දැක් වූ ශේන් වොට්සන්ගේ අවධානය යොමු වුණේ අසිෆ් අලී හා ශ්‍රී ලංකාවේ වනිදු හසරංග වෙතයි.

චරිත් අසලංක හා වනිදු හසරංග මෙවර ICC පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ලෝක කණ්ඩායම සදහා ද නම් කර තිබෙනවා.

Leave a comment