Ultimate magazine theme for WordPress.

ලකුණු 187ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව සෝබර්ස් – තිසේරා කුසලානය රදවා ගනියි

Match Report

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ දී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 187ක ජයක් වාර්තා කරමින් සෝබර්ස් – තිසේරා කුසලානය තවදුරටත් තමා සතුවම රදවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(25) සමත් වුණා.

තරගයේ අවසන් දිනය වූ අද දිනට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 348ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි කොදෙව්වන් කඩුලු 6ක් දැවී ලකුණු 52ක් ලබා සිටි අතර, ඔවුන්ට අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160ක් පමණයි.

කොදෙව් ඉනිමේ 6 වැනි කඩුල්ල දැවී ගියේ ලකුණු 18ක්ව තිබියදී වීම විශේෂත්වයක්.

අනතුරුව 7 වැනි කඩුල්ල සදහා ජොෂුවා ද සිල්වා හා කෘමාහ් බෝනර් පන්දු 269කින් ලකුණු 100ක සබදතාවයක් ගොඩ නැගුවේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීම සදහා දැඩි උත්සාහයක නිරත වෙමින්.

ජොෂුවා ද සිල්වා ලකුණු 54ක් ලබා ගත්තේ හතරේ පහර 5ක් සමගින්. බෝනර් හතරේ පහර 7ක් සමගින් නොදැවී ලකුණු 68ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5ක් හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 4ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 386ක්.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 230කට සීමා වුණා.

ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 4ක් දැවී ලකුණු 191ක් ලබා සිටියදීයි.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 29 වනදා ගාල්ල ක්‍රීඩාංගනයේ දී ම ආරම්භ වීමට නියමිතයි.

Leave a comment