Ultimate magazine theme for WordPress.

ලක්මාල්ගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක් – කොදෙව්වන් ලකුණු 99ක් ඉදිරියෙන් – Day 2 Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය මෙරට වේලාවෙන් අද(23) අලුයම නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 8ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 268ක්.

සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ රහ්කීම් කෝන්වෝල් නොදැවී ලකුණු 60ක් ලබා සිටින්නේ හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් සමගින්.

ජොෂුවා ද සිල්වා ලකුණු 46ක්, Kyle Mayers ලකුණු 45ක් සහ ජෝන් කැම්ප්බෙල් ලකුණු 42ක් රැස් කළා.

කොදෙව් කණ්ඩායමේ 7 වන කඩුල්ල ලකුණු 171ක්ව තිබියදී බිද වැටුණු නමුත්, අනතුරුව 8 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 90ක සබදතාවයක් ගොඩ නැගීමට කෝන්වෝල් සහ ජොෂුවා ද සිල්වා සමත් වුණා.

එම සබදතාවය හේතුවෙන් තරගය ජය ගැනීම පිළිබද වැඩි බලාපොරොත්තු මේ වන විට කොදෙව්වන් සතු වී තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් ලකුණු 45කට කඩුලු 5ක් බිද හෙලූ අතර, එය ටෙස්ට් ඉනිමක ඔහු කඩුලු 5ක් දවා ගත් සිව්වන අවස්ථාවයි.

දුෂ්මන්ත චමීර කඩුලු 2ක් සහ ලසිත් ඇඹුල්දෙණිය එක් කඩුල්ලක් දවා ගත්තා.

ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව් නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ ලකුණු 169ක් පමණයි.

ළහිරු තිරිමාන්න ලකුණු 70ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 32ක් රැස් කරමින් ඉනිමට යම් ශක්තියක් ලබා දුන්නා.

නායක දිමුත් කරුණාරත්න ලකුණු12කටත්, ධනංජය ද සිල්වා ලකුණු 13කටත් දැවී ගියා.

සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කර නොගිය අතර, මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ පැතුම් නිස්සංක ලබා ගත්තේ ලකුණු 9ක් පමණයි.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් ලකුණු 27කට කඩුලු 5ක් බිද හෙලූ අතර, කෙමා රෝච් කඩුලු 3ක් බිද හෙලුවා.

ඒ අනුව කොදෙව්වන් මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 99ක්.

Leave a comment