Ultimate magazine theme for WordPress.

ලංකා ප්‍රිමියර් ලීග් වෙන්දේසිය වෙන්නේ මෙහෙමයි ; ක්‍රීඩකයෙකුට හිමිවන මුදල මෙන්න

ජූලි-අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට ළගා වී තිබෙනවා.

මැයි 25 වැනිදා මධ්‍යහ්න 12 ට පෙර ක්‍රීඩකයින් ලියාපදිංචි විය යුතු බවට පළමුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබූ නමුත්, පසුව ලියාපදිංචි කටයුතු හෙට(28) දිනය දක්වා සිදු කිරීමටයි ක්‍රිකට් ආයතනය තීරණය කළේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වැනි අදියර ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා කණ්ඩායම් පහකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි. පළමු වරට LPL  තරගාවලිය සදහා ක්‍රීඩක කෙටුම්පත් කිරීමක් (Draft) වෙනුවට ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වීමට ද මෙවර තීරණය කර තිබීම විශේෂත්වයක්. ඒ අනුව IPL, SA20 හා WPL යන තරගාවලියන්ගෙන් පසුව ක්‍රීඩක වෙන්දේසියක් පවත්වන එකම ෆ්‍රැන්චයින් ලීග් ක්‍රිකට් තරගාවලිය බවට මෙම තරගාවලිය පත්වනු ඇති.

සංචිතයකට මිලදී ගත හැකි ක්‍රීඩකයින්

එක් සංචිතයක් සදහා ක්‍රීඩකයින් 24 දෙනෙකු උපරිම වශයෙන් මිලදී ගත හැකි අතර, අවම සංඛ්‍යාව 20 ක්. එක් කණ්ඩායමක් විසින් විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ද අනිවාර්යයෙන් මිලදී ගත යුතුයි. අවම වශයෙන් දේශිය ක්‍රීඩකයින් 14 දෙනෙකු ද, උපරිම වශයෙන් දේශීය ක්‍රීඩකයින් 19 දෙනෙකු ද මිලදී ගැනීමේ අවස්ථාව පවතිනවා.

තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජූනි 11 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ඊට පෙර විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග සෘජුවම ගිවිසුම්ගත වීමට කණ්ඩායම් 5 සදහා අවස්ථාව ලබා දී තිබුණා.

ඒ අනුව මේ වන විටත් ක්‍රීඩකයින් 20 දෙනෙකු මෙවර LPL තරගාවලිය සදහා ගිවිසුම්ගත වී තිබෙනවා. ඉන් 10 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින්.

කණ්ඩායමකට වියදම් කළ හැකි මුදල

ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා එක් කණ්ඩායමකට අමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් වියදමක් කළ හැකි බවයි තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩංවෙල මහතා සදහන් කළේ. එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 30 ක පමණ මුදලක්.

වෙන්දේසියට පෙර සෘජුව ගිවිසුම්ගත වන ක්‍රීඩකයින් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 500,000 ක මුදලක් වියදම් කිරීමට සෑම කණ්ඩායමකටම අවසර ලබා දී තිබුණා. ක්‍රීඩක වෙන්දේසියේ දී ද අමෙරිකානු ඩොලර් 500,000 ක් වියදම් කළ හැකියි. සෘජුව ගිවිසුම්ගත වීමේ දී යම් මුදල් ප්‍රමාණයක් ඉතිරි වුවහොත් එම මුදල් ප්‍රමාණය වෙන්දේසියේ දී වියදම් කිරීම සදහා භාවිතා කළ නොහැකි බව ද තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කර තිබෙනවා.

ක්‍රීඩකයෙකු සමග වසර 3 ක කාලයක් සදහා ගිවිසුම්ගත වීමේ හැකියාව ද පවතිනවා. කෙසේ වෙතත්, සෑම වසරක් අවසානයේ දී ම ක්‍රීඩකයින් සිය සංචිතයෙන් නිදහස් කිරීමේ හෝ රදවා ගැනීමේ අයිතිය ඒ ඒ කණ්ඩායම් සතුයි.

ක්‍රීඩකයින් නිදහස් කිරීමෙන් හෝ යම් හේතුවක් මත ක්‍රීඩකයින්ට තරගාවලියට සම්බන්ධ වීමට නොහැකි වන විට ඇති වන පුරප්පාඩු වෙනුවෙන් වසරින් වසර කුඩා වෙන්දේසියක් (mini-auction) පැවැත්වීමට නියමිතයි. වසර 3ක චක්‍රයක් ලෙස එලෙස වාර්ෂිකව කුඩා වෙන්දේසියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කණ්ඩායම් අතර ක්‍රීඩකයින් අලෙවි කිරීම සදහා ද යම් කාලසීමාවක් ලබා දී ඇති බවයි තරගාවලියේ සංවිධායකයින් සදහන් කළේ.

ක්‍රීඩකයින් ලියාපදිංචි වන ආකාරය හා මිල ගණන්

විදෙස් ක්‍රීඩකයින්ට Capped Players හා Uncapped Players යන කාණ්ඩ දෙක යටතේ ලියාපදිංචි විය හැකියි. Capped Players කාණ්ඩයෙන් ලියාපදිංචි විය හැකි වන්නේ එක් ජාත්‍යන්තර තරගයක් හෝ ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයින්ට පමණයි. ඩොලර් 10,000 / ඩොලර් 20,000 / ඩොලර් 30,000 / ඩොලර් 40,000 / ඩොලර් 50,000 (රුපියල් කෝටි 1.4ක් පමණ) යන මූලික වටිනාකම් යටතේ ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීමේ අවස්ථාව පවතිනවා.

කණ්ඩායම් හිමිකරුවන් විසින් එම මූලික වටිනාකම් යටතේ හෝ ලංසු ඉදිරිපත් කරමින් ඊට වඩා වැඩි මුදලක් යටතේ හෝ ක්‍රීඩකයින් මිලදී ගැනීමට නියමිතයි.

ජාත්‍යන්තර තරග ක්‍රීඩා කර නොමැති ක්‍රීඩකයින් Uncapped Players යන කාණ්ඩය යටතේ ලියාපදිංචි විය යුතුයි.

අවම වශයෙන් ඕනෑම තරග රටාවක දේශීය තරග 50 ක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයින්ට ඩොලර් 20,000 ක මූලික වටිනාකමක් යටතේ ලියාපදිංචි විය හැකියි.

අවම වශයෙන් ඕනෑම තරග රටාවක දේශීය තරග 25 ක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයින්ට ඩොලර් $10,000 ක මූලික වටිනාකමක් යටතේ ලියාපදිංචි වීමේ අවස්ථාව පවතිනවා.

කිසිදු දේශීය තරගයක් ක්‍රීඩා නොකළ ද, 2020, 2021 හා 2022 වසරවලදී ලංකා ප්‍රිමියර් ලීග් තරග හෝ වෙනත් 20යි 20 ෆ්‍රැන්චයිස් ලීග් තරග 18 කට වැඩියෙන් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයින්ට ද ඩොලර් 10,000 ක මූලික වටිනාකමක් යටතේ ලියාපදිංචි විය හැකියි.

ඩොලර් 5,000 ක මූලික වටිනාකමක් යටතේ ලියාපදිංචි විය හැකි වන්නේ ඉහත සදහන් කළ කිසිදු නිර්ණායකට ඇතුළත් නොවන ක්‍රීඩකයින්ටයි.

වෙන්දේසිය සිදු වන ආකාරය

වෙන්දේසියේ දී කණ්ඩායම් දෙකක් විසින් ලංසු ඉදිරිපත් කිරීම සිදු කරන අතර, එක් කණ්ඩායමක් ඉන් ඉවත් වීමට තීරණය කිරීමෙන් පසුවයි වෙනත් කණ්ඩායමටකට ලංසු ඉදිරිපත් කළ හැකි වන්නේ.

ලංසු ඉදිරිපත් කිරීමේ දී ඒ ඒ මූල්‍ය වටිනාකම් අනුව එක් එක් ලංසුව වර්ධනය වන්නේ පහත සදහන් ආකාරයෙන් –

i. From $5,000 to $10,000 – increments of $500 per bid
ii. From $10,000 to $20,000 – increments of $1000 per bid
iii. From $20,000 to $30,000 – increments of $2000 per bid
iv. From $30,000 to $50,000 – increments of $2500 per bid
v. From $50,000 & above – increments of $5000 per bid

වෙන්දේසිය සදහා පළමු නම් 70 ඉදිරිපත් කිරීමෙන් පසුව තවත් ක්‍රීඩකයින් 15-20 ක් වෙන්දේසිය වෙනුවෙන් නම් කිරීමට කණ්ඩායම් 5 සදහා අවස්ථාව ලබා දෙනවා.

වෙන්දේසියේ දී අලෙවි නොවූ හා ඉදිරිපත් නොකළ ක්‍රීඩකයින්ගේ නම් එලෙස ඉදිරිපත් කළ හැකි අතර, අනතුරුව එම නම් අතරින් ක්‍රීඩකයින් මිලදී ගැනීමට කණ්ඩායම් හිමිකරුවන්ට අවස්ථාව ලැබෙනවා.

Leave a comment