Ultimate magazine theme for WordPress.

රොසෝව්ගේ සුපිරි ප්‍රහාරය දකුණු අප්‍රිකාවට දැවැන්ත ජයක් ගෙනෙයි

Match Report

එංගලන්තය සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 58 ක ජයක් වාර්තා කරමින් 20යි 20 තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම මෙරට වේලාවෙන් අද(29) අලුයම සමත් වුණා.

කාර්ඩිෆ්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 3ක් දැවී ලකුණු 207 ක් රැස් කිරීමට සමත් වුණා.

ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 15යි. රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 32 කින් ලකුණු 53 ක් ලබා ගත්තා. හෙන්රිච් ක්ලාසීන් ලකුණු 19කට දැවී ගිය අතර, Tristan Stubbs නොදැවී ලකුණු 15යි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ අංක 3 පිතිකරු රයිලි රොසෝව් පන්දු 55 ක් පමණක් වැය කරමින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 96 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 10 ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී මොයීන් අලී, ක්‍රිස් ජෝර්ඩන් හා Richard Gleeson අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 208 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්තයට පන්දුවාර 16.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 149 ක් පමණයි.

ජොනී බෙයාර්ස්ටව් ලකුණු 30ක්, නායක ජොස් බට්ලර් ලකුණු 29ක්, මොයින් අලී ලකුණු 28ක් හා ජේසන් රෝයි ලකුණු 20 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ හා ටබ්රයිස් ශම්සි කඩුලු 3 බැගින් බිද හෙලුවා. ලුන්ගි එන්ගිඩී බිද හෙලූ කඩුලු ගණන 2ක්.

Leave a comment