Ultimate magazine theme for WordPress.

“යෝකර් පන්දුවේ රජු” මාලිංග සතු සුවිශේෂී T 20 වාර්තා 12

ශ්‍රී ලංකාවෙන් පමණක් නොව ලෝක ක්‍රිකට් ක්‍රීඩාවටම බිහි වූ සුපිරි වේග පන්දු යවන්නෙකු වූ ලසිත් මාලිංග පසුගියදා ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළේ ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන නාමයක් සටහන් කරමින්.

ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කළ මෙහෙය මෙතකැයි කිව නොහැක. එම‍ෙන්ම ඔහු නිසා ශ්‍රී ලංකාවට හිමි වූ ජයග්‍රහන මෙතකැයි ද කිව නොහැක.

යෝකර් පන්දුවේ රජු ලෙස සැලකෙන ලසිත් මාලිංග 20යි 20 පිටියේ දී පමණක් බිහි කළ සුවිශේෂී වාර්තා කිහිපයක් සම්බන්ධයෙනුයි මෙම ලිපියෙන් අවධානය යොමු කිරීමට අප තීරණය කළේ.

කඩුලු 107 – පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා වන්නේ ලසිත් මාලිංගයි. කඩුලු 100 සීමාව පසු කළ ලොව පළමු පන්දු යවන්නා ලෙස ද මාලිංග ඉතිහාසගත වුණා. ඒ, 2019 වසරේ දී යි.

කඩුලු 390 – මාලිංග 20යි 20 ක්‍රිකට් පිටියට සමුදෙන විට දවා ගෙන තිබූ කඩුලු 390 සටහන් වන්නේ 20යි 20 පිටියේ දී පන්දු යවන්නෙකු බිද හෙලූ සිව්වන වැඩිම කඩුලු සංඛ්‍යාව ලෙසයි. 2014 වසරේ පෙබරවාරි මාසයේ සිට 2016 වසරේ අප්‍රේල් මාසය දක්වා මෙම තරග රටාවේ වැඩිම කඩුලුලාභියා වූයේ ද මාලිංගයි.

කඩුලු 170 – ඉන්දීය ප්‍රිමියර් ලීග් පිටියේ වැඩිම කඩුලුලාභියා වන්නේ ද ඔහුයි. එමෙන්ම අයි.පී.එල් තරගාවලියේ දී කඩුලු 100ක් දවා පළමු පන්දු යවන්නා බවට ඔහු 2013 වසරේ දී පත් වුණා. 2017 වසරේ දී ඔහු කඩුලු 150 සීමාව පසු කළේ ද එම සීමාවට ළගා වූ පළමු පන්දු යවන්නා බවට පත් වෙමින්.

කඩුලු 195 – මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග කඩුලු 195ක් (අයි.පී.එල් හා චැම්පියන්ස් ලීග් තරගාවලියේ දී) දවා ගෙන ඇති අතර, එය 20යි 20 පිටියේ දී එක් කණ්ඩායමක් වෙනුවෙන් ක්‍රීඩකයෙකු දවා ගෙන ඇති වැඩිම කඩුලු සංඛ්‍යාවයි. 2009 වසරේ දී මුම්බායි වෙනුවෙන් 20යි 20 වරම් දිනා ගත් තරගයේ දී මාලිංග දෙවැනි පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගත් අතර, සුපිරි යෝකර් පන්දුවක් යොමු කරමින් මහේන්ද්‍ර සිං දෝනිගේ කඩුල්ලද දවා ගත්තා. එමෙන්ම මාලිංග මුම්බායි වෙනුවෙන් යොමු කළ අවසන් පන්දුවට ඔහු කඩුල්ලක් දවා ගනිමින් මුම්බායි ඉන්දියන්ස් පිලට අයි.පී.එල් ශූරතාවය දිනා දීමට 2019 වසරේ දී සමත් වුණා.

කඩුලු 38 – පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියන්හී දී මාලිංග කඩුලු 38ක් දවා ගෙන ඇති අතර, එය දෙවැනි වන්නේ ශහිඩ් අෆ්රිඩි දවා ගෙන ඇති කඩුලු 39ට පමණයි. මාලිංග අවසන් වරට 20යි 20 ලෝක කුසලානයක් ක්‍රීඩා කළේ 2014 වසරේ දී වන අතර, එම තරගාවලිය නිමා වන විට 20යි 20 ලෝක කුසලාන තරගවල වැඩිම කඩුලුලාභියා වූයේ ඔහුයි.

ලකුණු 7කට කඩුලු 6ක් – මාලිංගගේ හොදම 20යි 20 පන්දු යැවීම වන්නේ එයයි. 2012/13 බිග් බෑෂ් ලීග් තරග වාරයේ දී ලසිත් මාලිංග එම දක්ෂතාවය දැක් වූයේ මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන්. එය අදටත් බිග් බෑෂ් ලීග් තරගයකදී පන්දු යවන්නෙකු දැක් වූ හොදම පන්දු යැවීමේ දක්ෂතාවයයි.

7.82 – අයි.පී.එල් තරගාවලියේ ඉනිමක අවසන් පන්දුවාරවලදී (death overs) (17-20) පන්දුවාරයකට අවම දළ ලකුණු සංඛ්‍යාවක් ලබා දී ඇත්තේ ලසිත් මාලිංගයි. අවසන් පන්දුවාරවලදී අවම වශයෙන් පන්දු 250ක් යවනු ලැබූ පන්දු යවන්නන් 41 දෙනෙකු අතරිනුයි ඔහු එහි පෙරමුණ ගෙන ඇත්තේ. මාලිංග අයි.පී.එල් තරගවල ඉනිමක අවසන් පන්දුවාරවලදී පන්දුවාර 152.5ක් ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී ලකුණු 1,196ක් ප්‍රතිවාදීන්ට ලබා දී කඩුලු 90ක් ද දවා ගනිමින් ලීග් වාර්තාවක් ද පිහිටුවා තිබෙනවා.

කඩුලු 37 – මාලිංග විසින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 37ක් දවා ගනිමින් එක් ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව පන්දු යවන්නෙකු දවා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාවේ සම වාර්තාවට ද හිමිකම් කියනවා.

කඩුලු 5 අවස්ථා 5ක් – මාලිංග විසින් 20යි 20 පිටියේ දී කඩුලු 5 අවස්ථා 5ක් බිද හෙලා තිබෙනවා. එය දෙවැනි වන්නේ ඩේවිඩ් වීසාට (6) පමණයි.

කඩුලු 4 අවස්ථා 15ක් – 20යි 20 පිටියේ දී ලසිත් මාලිංග කඩුලු 4කට වැඩියෙන් ඉනිමකදී දවා ගත් අවස්ථා 15ක් වාර්තා කර ඇත්තේ ද එම ලෝක වාර්තාව තම නම ඉදිරියේ සටහන් කරමින්.

කඩුලු 152 – මාලිංගගේ කඩුලු 390න් 152ක් ම කෙළින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් ලබා ගත් කඩුලු වීම විශේෂත්වයක්. වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු එම සීමාවට ද මෙතෙක් ළගා වී නැහැ.

2 – ජාත්‍යන්තර 20යි 20 පිටියේ දී කඩුලු ත්‍රිත්වයන් දෙකක් බිද හෙලූ එකම පන්දු යවන්නා වන්නේ ද ලසිත් මාලිංගයි.

(ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියේ පළ වූ ලිපියක් ද ඇසුරිනි)

Leave a comment