Ultimate magazine theme for WordPress.

මෙන්ඩිස්, දිමුත් හා පන්දු යවන්නන්ගේ දක්ෂතා ශ්‍රී ලංකාවට සුපිරි ජයක් හිමි කර දෙයි

Match Report

කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න ප්‍රමුඛ පිතිකරුවන්ගේ දක්ෂතා හා ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ ඇෆ්ඝනිස්තානය සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 132 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වය ගෙන ඒමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(4) සමත් වුණා.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 6ක් දැවී ලකුණු 323 ක් ලබා ගනිමින්.

තරගය ජය ගැනීම සදහා ලකුණු 324 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 42.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 191 ක් පමණයි.

ඇෆ්ඝනිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නායක හෂ්මතුල්ලාහ් ශහීඩී ලකුණු 57 ක් රැස් කළ අතර, ඊබ්‍රහීම් සඩ්රාන් ලකුණු 54 යි. රහ්මට් ශාහ් ලකුණු 36 කටත්, අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 28 කටත් දැවී ගියා.

රහ්මට් ශාහ් හා ඊබ්‍රහීම් සඩ්රාන් දෙවැනි කඩුල්ලට ලකුණු 51 (74) ක සම්බන්ධතාවයක් ද, සඩ්රාන් හා හෂ්මතුල්ලාහ් ශහීඩී තෙවැනි කඩුල්ලට ලකුණු 84 (89) ක සම්බන්ධතාවයක් ද ගොඩ නැගූ නමුත්, සෙසු කිසිදු පිතිකරුවන් යුගලයක් අතර සාර්ථක සම්බන්ධතාවයක් දැක ගත හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 18 කට කඩුලු 2 ක් ද, ධනංජය ද සිල්වා ලකුණු 39 කට කඩුලු 3 ක් ද දවා ගනිමින් ඇෆ්ඝනිස්තාන ඉනිම අඩපන කළා. ඇෆ්ඝනිස්තාන පසුපෙලට දැඩි පීඩනයක් එල්ල කරමින් වනිදු හසරංග ලකුණු 42 කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක කඩුල්ල සදහා දිමුත් කරුණාරත්න හා පැතුම් නිස්සංක ලකුණු 82 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. පැතුම් ලකුණු 43 කට දැවී ගිය අතර, දිමුත් සිය 7 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 52(62) ක් රැස් කළා.

අනතුරුව කුසල් මෙන්ඩිස් හා සධීර සමරවික්‍රම තෙවැනි කඩුල්ලට ලකුණු 88 (86) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. සධීර පන්දු 46 කින් ලකුණු 44 ක් ලබා ගත් අතර, චරිත් අසලංක ලකුණු 6 කට දැවී ගියා.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ කුසල් මෙන්ඩිස් පන්දු 75 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 78 ක්. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 7ක් ඇතුළත්. නායක දසුන් ශානක පන්දු 13 කින් ලකුණු 23 ක් ද, ධනංජය ද සිල්වා පන්දු 24 කින් නොදැවී ලකුණු 29 ක් ද, වනිදු හසරංග පන්දු 12 කින් නොදැවී ලකුණු 29 ක් ද ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය වේගවත් අවසානය හිමි කර දුන්නා.

පන්දු යැවීමේ දී ෆරීඩ් අහ්මඩ් හා මොහමඩ් නබී කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගයකදී පළමුව පන්දුවට පහර දී ලකුණු 320 සීමාව ඉක්මවා රැස් කළ කිසිදු තරගයක් මෙතෙක් පරාජයට පත්ව නැහැ.

මෙම තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වෙනස්කම් 4 ක් සිදු කර තිබූ අතර, ඒ අනුව සධීර සමරවික්‍රම, වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ හා දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැදවා තිබුණේ ඇන්ජෙලෝ මැතිව්ස්, දුෂාන් හේමන්ත, ලහිරු කුමාර (ආබාධයක්) හා මතීෂ පතිරණ වෙනුවටයි.

Leave a comment