Ultimate magazine theme for WordPress.

මෙන්ඩිස් ඇතුළු ක්‍රීඩකයින් 5ක් ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කරයි

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් ක්‍රීඩකයින් 5 දෙනෙකු ඉවත් කර තිබෙනවා.

ඒ අතරට නිත්‍ය නායක දිමුත් කරුණාරත්න ද ඇතුළත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔහු ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් පළමු ටෙස්ට් තරගයට ද ක්‍රීඩා නොකළ අතර, එළඹෙන 22 වනදා ආරම්භ වන දෙවැනි තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ආබාධය නිසා ඔහුට අහිමි වී තිබෙනවා.

එමෙන්ම මේ වන විට ලකුණු අතරට පැමිණීමට අසමත්ව සිටින කුසල් මෙන්ඩිස් මෙන්ම නුවන් ප්‍රදීප්, මිනෝද් භානුක සහ ළහිරු කුමාර යන ක්‍රීඩකයින් ද ජෛව ආරක්ෂිත බුබුලෙන් නිදහස් කර ඇති බව සදහන්.

කුසල් මෙන්ඩිස් අවසන් ඉනිම් 6 තුළ දී ලබා ගෙන ඇත්තේ ලකුණු 27ක් පමණයි.

ඊට අඛණ්ඩව ලකුණු නොලබා දැවී ගිය අවස්ථා 4ක් ද ඇතුළත්.

මේ අතර, දෙවැනි ටෙස්ට් තරගය ආරම්භයේ දී තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගය ක්‍රියාත්මක වන විට ශ්‍රී ලංකා සංචිතය තුළ ක්‍රීඩකයින් 15 දෙනෙකු පමණක් රැදී සිටිනු ඇති.

Leave a comment