Ultimate magazine theme for WordPress.

මෙන්ඩිස්ගේ වාසනාවන්ත ඉනිම හා අසිතගේ නොසිතූ ප්‍රහාරය ශ්‍රී ලංකාව සුපිරි 4ට ගෙන යයි

Match Report

කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ඨ අර්ධ ශතකයත්, දසුන් ශානකගේ සටන්කාමී ඉනිමත්, අසිත ප්‍රනාන්දුගේ අනපේක්ෂිත ප්‍රහාරයත් හේතුවෙන් මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(1) සමත් වුණා.

ඒ, තරගාවලියේ මූලික වටයේ 5 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 2 ක තියුණු ජයක් වාර්තා කරමින්.

ඩුබායි හි පැවැති තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට ලකුණු 184 ක දැවැන්ත ඉලක්කයක් හිමි වූ අතර, ශ්‍රී ලංකාව එම ඉලක්කය පසු කළේ පන්දුවාර 19.2 ක් අවසානයේ කඩුලු 8ක් දැවී සිටියදීයි.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 45 කට සීමා කරමින් පැතුම් නිස්සංස ලකුණු 20(19) කට දැවී ගියා. මෙම තරගයේ දී ද අසාර්ථක වූ චරිත් අසලංක ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.

පවර් ප්ලේ අවස්ථාව අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 2 කට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 48 ක්. ධනුෂ්ක ගුණතිලක ලකුණු 11කට දැවී ගිය අතර, භානුක රාජපක්ෂ රැස් කළේ ලකුණු 2 ක් පමණයි.

අනතුරුව 5 වැනි කඩුල්ල සදහා පන්දු 35 කින් ලකුණු 54 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට කුසල් මෙන්ඩිස් හා නායක දසුන් ශානක සමත් වුණේ ශ්‍රී ලංකාවට ජයග්‍රහනය පිළිබද යළි බලාපොරොත්තුවක් එක් කරමින්.

කුසල් මෙන්ඩිස් පන්දු 37 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 60 ක්. හයේ පහර 3ක් හා හතරේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

මෙන්ඩිස් අවස්ථා 4කදී දවා ගැනීමට බංග්ලාදේශයට අවස්ථා උදා වූ නමුත්, ඒවා සාර්ථක කර ගැනීමට බංග්ලාදේශයට හැකි වූයේ නැහැ.

ඔහු ලකුණු දෙකක් ලබා සිටියදී උඩ පන්දුවක් ලබා දුන්න ද එය කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් අතින් ගිලිහී ගියා.

අනතුරුව ලකුණු 29 ක් ලබා සිටියදී ඔහු රහීම් අතටම උඩ පන්දුවක් ලබා දී දැවී ගිය නමුත්, පසුව එම පන්දුව නිපන්දුවක් ලෙස තෙවන විනිසුරු විසින් තීරණය කිරීමත් සමග මෙන්ඩිස් පිටියේ රැදී සිටීමට යළිත් වාසනාවන්ත වුණා.

එමෙන්ම ඔහු ලකුණු 31 ක් ලබා සිටියදී කඩුලු රකින ක්‍රීඩකයා අතටම උඩ පන්දුවක් ලබා දුන්න ද එය නොදැවී යාමක් ලෙසයි විනිසුරු තීරණය කළේ. එම තීරණය විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ හෝ අභියෝගයට ලක් කිරීමට බංග්ලාදේශය කටයුතු කළේ නැහැ.

ලකුණු 44ක් ලබා සිටියදී ඔහුව දුවද්දී දවා ගැනීමට ද අවස්ථාවක් බංග්ලාදේශයට උදා වුවද එය ද සාර්ථක කර ගැනීමට බංග්ලාදේශයට නොහැකි වුණා.

වනිදු හසරංග ලකුණු 2 කට දැවී ගියා. දසුන් ශානක පන්දු 33කින් ලකුණු 45 ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය අසලමට රැගෙන යාමට සමත් වූ අතර, චාමික කරුණාරත්න ලකුණු 16 කට දුවද්දී දැවී යාමත් සමග ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු බිද වැටුණා.

අනතුරුව සියලු දෙනා මවිතයට පත් කරමින් සිය මංගල 20යි 20 තරගය ක්‍රීඩා කරමින් සිටි වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු පන්දු 3 කින් හතරේ පහර 2ක් ද සමග රැස් කළ ලකුණු 10ත් සමග ශ්‍රී ලංකාව ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ඒ, බංග්ලාදේශ පන්දු යවන්නන් මෙම ඉනිමේ දී යොමු කළ නිපන්දු හතරෙන් ද උපරිම ප්‍රයෝජන ලබා ගනිමින්. පන්දු යැවීමේ දී එබඩොට් හොසේන් ලකුණු 51 කට කඩුලු 3ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබා දුන් අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 183 ක් ලබා ගත්තේ කඩුලු 7 ක් දැවී සිටියදීයි.

මෙම තරගයේ දී බංග්ලාදේශ ඉනිම ආරම්භ කළේ මෙහිදි හසාන් මිරාස් හා සබීර් රහ්මාන්. ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 19 කට සීමා කරමින් සබීර් ලකුණු 5 කට දැවී ගියා. පවර් ප්ලේ අවස්ථාවේ දී බංග්ලාදේශය එක් කඩුල්ලකට රැස් කළ ලකුණු සංඛ්‍යාව 55 ක්.

මෙහිදි හසාන් ලකුණු 38 ක් රැස් කළේ පන්දු 26 කින්. ශකිබ් අල් හසාන් ලකුණු 24 (22) යි. මුෂ්ෆිකර් රහීම් ලකුණු 4 කට දැවී ගියා.

අෆිෆ් හොසේන් පන්දු 22 කින් ලකුණු 39 ක් රැස් කළ අතර, මහ්මුදුල්ලාහ් පන්දු 22 කින් ලකුණු 27 ක් රැස් කළා. මොසඩැක් හොසේන් පන්දු 9 කින් ලකුණු 24 ක් නොදැවී වාර්තා කරමින් බංග්ලාදේශය දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග හා චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් බිද හෙලුවා. මෙම තරගයේ දී 20යි 20 ජාත්‍යන්තර වරම් දිනූ අසිත ප්‍රනාන්දු ලකුණු 51 කට එක් කඩුල්ලක් දවා ගත්තා. දිල්ෂාන් මදුෂංක ලකුණු 26 කට කඩුල්ලක් ද, මහීෂ් තීක්ෂණ ලකුණු 23 කට කඩුල්ලක් ද බිද හෙලීමට සමත් වුණා.

මෙම තරගයෙන් පරාජයට පත් වූ බංග්ලාදේශයට තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු වුණා.

Leave a comment