Ultimate magazine theme for WordPress.

මුරලිගේ චිත්‍රපටයෙන් සේතුපති ඉවත් වෙයි

ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව සම්බන්ධයෙන් නිර්මාණය කෙරෙන චිත්‍රපටයේ දී මුරලිදරන්ගේ චරිතය රගපෑමට නියමිතව සිටි ඉන්දීය නලු විජයි සේතුපති ඉන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ, මුත්තයියා මුරලිදරන් කළ ඉල්ලීමකට අනුවයි.

මෙම චිත්‍රපටය හේතුවෙන් විජයි සේතුපතිගේ සිනමා දිවියට හානියක් සිදු වීම වැළැක්වීමේ අරමුණින් තමා එම ඉල්ලීම කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් මුරලිදරන් සදහන් කර සිටියේ.

ඊට ප්‍රතිචාර දැක් වූ විජයි සේතුපති සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් “ස්තූතියි, ආයුබෝවන්” යනුවෙන් සදහන් කළා.

“වැරැදි වැටහීම හේතුවෙන් චිත්‍රපටයෙන් ඉවත් වන ලෙසට විජයි සේතුපතිට ඇතැම් පිරිසක් බලපෑම් කරනවා. මට අවශ්‍ය නැහැ තමිල්නාඩුවේ හොදම නලුවෙකු කරදරයකට පත් වෙනවට. ඒ නිසා මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා මෙම චිත්‍රපටයෙන් ඉවත් වන ලෙස. චිත්‍රපටයේ නිෂ්පාදකයින් මෙම අභියෝගය ජය ගන්නා බව මට විශ්වාසයි. මේ සම්බන්ධයෙන් ඔවුන් ඉදිරියේ දී නිවේදනයක් සිදු කරන බවට ඔවුන් මට පොරොන්දු වුණා”

යනුවෙන් මුරලිදරන් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සදහන් කර තිබෙනවා.

ටෙස්ට් කඩුලු 800 ක් දවා ගැනීමට සමත් වූ මුත්තයියා මුරලිදරන් ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභියා ලෙස ඉතිහාසගත වී ඇති අතර, එම කඩුලු ගණන මෙම චිත්‍රපටයේ නම ලෙස යොදා තිබෙනවා.

ඊට අදාළ නිල පෝස්ටරය සහ නිල චලන පෝස්ටරය ද පසුගියදා නිකුත් කෙරුණා.

චිත්‍රපටයේ රූගත කිරීම් ශ්‍රී ලංකාවේ දී, ඉන්දියාවේ දී , ඔස්ට්‍රේලියාවේ දී සහ එංගලන්තයේ දී සිදු කිරීමට නියමිතයි.

ලබන වසර මුලදී රූගත කිරීම් ආරම්භ කෙරෙන අතර, චිත්‍රපටය ලබන වසර අගදී ප්‍රදර්ශනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

එම්.එස් ශ්‍රීපති විසින් අධ්‍යක්ෂණය කරන චිත්‍රපටය Movie Train Motion Pictures සහ Dar Motion Pictures සමාගම් විසින් නිෂ්පාදනය කරන බව සදහන්.

Leave a comment