Ultimate magazine theme for WordPress.

මුම්බායි කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස එඩ්වර්ඩ්ස් පත් කෙරේ ; වෙන්දේසිය 13 වැනිදා

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පළමු වරට සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන මුම්බායි කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස එංගලන්ත හිටපු නායිකා චාර්ලට් එඩ්වර්ඩ්ස් පත් කර තිබෙනවා.

හිටපු ඉන්දීය ක්‍රීඩිකා ජුලාන් ගෝස්වාමි ද මුම්බායි පුහුණුකාර්යය මණ්ඩලයට ඇතුළත්. ඇය උපදේශක හා පන්දු යැවීමේ පුහුණුකාරිණිය ලෙසයි කටයුතු කරන්නේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය සහිත මෙම කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාරිණිය ලෙස දේවිකා පල්ශිකාර් කටයුතු කරනවා.

WPL තරගාවලිය සදහා ක්‍රීඩිකාවන් මිලදී ගැනීමේ වෙන්දේසිය පෙබරවාරි 13 වැනිදා මුම්බායි හී දී පැවැත්වීමට නියමිතයි.

එහිදී උපරිම වශයෙන් ක්‍රීඩිකාවන් 90 දෙනෙකු අලෙවි වීමට නියමිත අතර, ක්‍රීඩිකාවන් මිලදී ගැනීම සදහා එක් කණ්ඩායමකට ඉන්දීය රුපියල් කෝටි 12 ක මුදලක් වියදම් කිරිමේ හැකියාව පවතිනවා.

සෑම කණ්ඩායමක්ම අවම වශයෙන් ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සිය සංචිතයට මිලදී ගත යුතු අතර, උපරිම වශයෙන් මිලදී ගත හැකි ක්‍රීඩිකාවන් ප්‍රමාණය 18 ක්.

සෑම සංචිතයකටම විදෙස් ක්‍රීඩිකාවන් 7 දෙනෙකු ඇතුළත් විය යුතුයි. ඒ අතරට අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය නොමැති රටකින් ද ක්‍රීඩිකාවක් මිලදී ගත යුතු වනවා.

තරගයකට ක්‍රීඩා කරන අවසන් 11 දෙනාගේ කණ්ඩායම සදහා විදෙස් ක්‍රීඩිකාවන් 5 දෙනෙකුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතිනවා.

තරගාවලියට කණ්ඩායම් 5 ක් ක්‍රීඩා කරන අතර, තරග 22 ක් තරගාවලියට ඇතුළත්. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම සෘජුවම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගන්නා අතර, දෙවැනි හා තෙවැනි ස්ථානවල පසුවන කණ්ඩායම් Qualifier තරගයක් සදහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගන්නා දෙවැනි කණ්ඩායම වීමේ අපේක්ෂාවෙන්.

Leave a comment