Ultimate magazine theme for WordPress.

මැද පන්දුවාර ගැන මිකීගේ වැඩි අවධානයක්; දෙවන පුහුණු තරගයත් අද

එංගලන්තයට එරෙහිව අභියෝගයක් එල්ල කිරීමට නම් ඉනිමේ මැද පන්දුවාර තුළ හොදින් ක්‍රීඩා කිරීම අතිශය වැදගත් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසනවා.

20යි 20 තරග 3 කට සහ එක්දින තරග 3 කට ක්‍රීඩා කිරීම සඳහා එංගලන්ත තරග සංචාරයකට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම සම්බනධයෙන් දැනුවත් කිරීම සදහා පැවැති අතථ්‍ය මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පුහුණු තරගයකට ද එක් වූ අතර, අද(18) ඔවුන් සිය දෙවැනි පුහුණු තරගයට ද එක්වීමට නියමිතයි.

එම පුහුණු තරගය ද පැවැත්වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා සංචිතයේම ක්‍රීඩකයින් අතරයි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මිකී ආතර් කියා සිටියේ ඉනිමේ මැද පන්දුවාරවලදී හොදින් පන්දුවට පහර දෙන ආකාරය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටින බවයි.

“බංග්ලාදේශයේදී අපි ඉනිමේ මැද පන්දුවාරවලදී අපහසුතාවයට පත් වුණා.” යනුවෙන් ශ්‍රී ලංකා පුහුණුකරු කියා සිටියා.

“මේ දිනවල සිදු කරන පුහුණුවීම්වලදී වැඩි අවධානයක් යොමු කරලා තියෙන අංශයක් තමයි ඒක. එහිදී පන්දුවට පහර දීමේදී අපේ ප්‍රහාරාත්මක වේගය පවත්වා ගැනීම සම්බන්ධයෙන් වූ තීව්‍රතාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා” 

කණ්ඩායමේ පසුබෑමට ස්ථාවර පිතිකරණ අනුපිළිවෙළක් නොමැති වීම බලපෑ ඇති බවත්, දුර්වල ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගැනීම ද ප්‍රධාන ලෙස හේතුවී ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.

“හැකි ඉක්මනින්ම අපිට ස්ථාවර පිතිකරණ අනුපිළිවෙළක් සකස් කර ගත යුතුයි. එහෙම නැතුව අපිට විවිධ ස්ථානවල පන්දුවට පහර දෙන පිතිකරුවන් සමඟ තැනින් තැනට පනින්න අමාරුයි. එහෙම වුණොත් එය කණ්ඩායමේ ව්‍යාකූලතාවයට හේතු වෙනවා”

“මම ලෝකයේ වෙනත් හොඳම කණ්ඩායම් කරන්නේ මොකද්ද කියලා අවධානය යොමු කළා. හොඳ ශක්තිමත් පිතිකරණ ලැයිස්තුවකට අවශ්‍ය වන හොඳ ප්‍රහාරාත්මක වේගයක් සහ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ඔවුන් සතුව පැවැතීම තමයි මට දැක ගැනීමට හැකි වුණේ. මම උත්සාහ කරෙත් ජාත්‍යන්තර ක්‍රීඩාවට හොඳින්ම ගැලපෙන විදියට අපේ පිතිකරණ ලැයිස්තුව සකස් කරන්නයි. අපේ සියලු ක්‍රීඩකයින් හඳුනගෙන තියෙනවා ඔවුන්ගේ භූමිකාවන් මොකක්ද කියලා. අපිට අවශ්‍ය වන්නේ ඔවුන්ට ඒ දේ කරන්න අවශ්‍ය සහයෝගය ලබා දීමයි”

එංගලන්ත තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 20යි 20 තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

පළමු 20යි 20 තරගය ජූනි 23 වනදා කාර්ඩිෆ් හී දී පැවැත්වෙන අතර, ජූනි 24 වනදා දෙවන 20යි 20 තරගය ද එම ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තෙවැනි 20යි 20 තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූනි 26 වනදා සවුත්හැම්ටන් හී දී යි.

දෙරට අතර පළමු එක්දින තරගය ජූනි 29 වනදා ඩර්හැම්හී දී ද, දෙවැනි එක්දින තරගය ජූලි පළමු වනදා ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගනයේ දී ද, තෙවැනි එක්දින තරගය ජූලි 4 වනදා බ්‍රිස්ටල්හී දී ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවියේ පල වූ ලිපියක්ද ඇසුරිනි)

Leave a comment