Ultimate magazine theme for WordPress.

මහේලගේ කණ්ඩායමට තවත් ප්‍රබලයින් දෙදෙනෙක්

එංගලන්තයේ පැවැත්වීමට නියමිත ‘ද හන්ඩ්‍රඩ්’ හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලිය සදහා නවසීලන්තයේ ඩෙවෝන් කොන්වේ සහ දකුණු අප්‍රිකාවේ ක්වෙන්ටන් ඩී කොක් එක්වීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන සදර්න් බ්‍රේව් කණ්ඩායම (Southern Brave) සමගයි ගිවිසුම් අත්සන් කර ඇත්තේ.

ඒ, මීට පෙර එම කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කළ ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් සහ මර්කස් ස්ටොයිනිස් වෙනුවටයි.

කොරෝනා වෛරසය හේතුවෙන් පනවා ඇති විවිධ සීමා කිරීම් (සංචරණ සීමා, නිරෝධායන, ජෛව ආරක්ෂිත බුබුලු තුළ රැදී සිටීමේ ගැටලු) හේතුවෙන් ඔවුන් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබුණා.

“ද හන්ඩ්‍රඩ්” තරගාවලිය ජූලි 21 වනදා සිට අගෝස්තු 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජූලි 21 වනදා Oval Invincibles කාන්තා කණ්ඩායම සහ Manchester Originals කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයෙන් මෙම නව තරග රටාව නිල වශයෙන් ආරම්භ වනු ඇති.

ඊට පසුදින එනම් ජූලි 22 වනදා එම කණ්ඩායම් දෙකේම, එනම් Oval Invincibles සහ Manchester Originals යන කණ්ඩායම්වල පිරිමි කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයත් සමගින් පිරිමි අංශයේ තරගාවලිය ආරම්භ කෙරෙනවා.

මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන සදර්න් බ්‍රේව් (Southern Brave) කණ්ඩායම සහභාගී වන පළමු තරගය ජූලි 24 වනදා ට්‍රෙන්ට් රොකට්ස් (Trent Rockets) කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් 8ක් සහභාගී වන තරගාවලියේ මූලික වටයේ තරග අගෝස්තු 18 වනදායින් නිමා වන අතර, අවසන් තරගය අගෝස්තු 21 වනදා පැවැත්වීමට නියමිතයි.

Leave a comment