Ultimate magazine theme for WordPress.

බින්දුවටම වැටුණු ගෞරවය යළි ගොඩ ගන්න ශ්‍රී ලංකාව තරග බිමට

Match Preview

  • ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය, තෙවැනි එක්දින ක්‍රිකට් තරගය
  • ෂරී බංග්ලා ක්‍රීඩාංගනය, මීර්පූර්, ඩකා
  • මැයි 28, 12.30 PM (ශ්‍රී ලංකා වේලාවෙන්)

බංග්ලාදේශයට එරෙහි තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක පරාජයට පත්වීමත් සමග ශ්‍රී ලංකාව මේ වන විටත් බංග්ලාදේශයට එරෙහිව ලැබූ පළමු තරගාවලි පරාජයට මුහුණ දී අවසන්. එවැනි වාතාවරණයක් යටතේ ශ්‍රී ලංකාව අවසන් තරගයට තරග වදින්නේ බංග්ලාදේශය හමුවේ අවමන් සහගත පූර්ණ තරගාවලි පරාජයක් ලැබීමේ අගෞරවයෙන් මිදීමේ අරමුණින්. බංග්ලාදේශය මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර අඛණ්ඩව ජාත්‍යන්තර තරග 10ක් ජය නොගෙන තිබූ පසුබිමකයි මෙම තරගාවලි ජය තහවුරු කර ගත්තේ.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් සැලකිය යුතු දක්ෂතාවයක් දැක්වුවද පිතිකරණය ඉතා දුර්වල මට්ටමක පැවතීම තරග පරාජයට දැඩිව බලපානු ලැබුවා. අංක 8 පිතිකරු වූ වනිදු හසරංග ලැබූ අර්ධ ශතකය හැරුණු විට වෙනත් කිසිදු නම් දැරූ පිතිකරුවෙකු මෙතෙක් කිසිදු අර්ධ ශතකයක් වාර්තා කිරීමට මෙවර තරගාවලියේ දී සමත් වී නැහැ. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන මුෂ්ෆිකර් රහීම් ලකුණු 209ක් රැස් කර ඇති අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වන වනිදු ලකුණු 80ක් රැස් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සදහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් නම් නොකිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබුණ ද කුසල් ජනිත්, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා වැනි ක්‍රීඩකයින් කාලයක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම සදහා ක්‍රීඩා කර ඇති බැවින් ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමේ බර කරට ගැනීමට තරම් ඔවුන්ට ප්‍රමාණවත් අත්දැකීම් තිබෙන බව නොරහසක්. එවැනි වාතාවරණයක් යටතේ ශ්‍රී ලංකා පිතිකරුවන් දියාරු පිතිහරඹයක නිරත වෙමින් බංග්ලාදේශය හමුවේ අවමන් සහගත අයුරින් තරගාවලියක් පරාජයට පත්ව ඇති අවස්ථාවක ඔවුන් අවසන් තරගයේ දී හෝ නැති කර ගත් ගෞරවය යළි ගොඩ නගා ගනීවිද? 20යි 20 නායක දසුන් ශානකගෙන් ද කණ්ඩායමට සැලකිය යුතු දායකත්වයක් නොලැබීම කනගාටුවට කරුණක්.

කෙසේ වෙතත්, පන්දු යැවීමේ අංශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට යම් පීඩනයක් ලබා දීමට පළමු තරග දෙකේ දී සමත් වුණා. එම තරග දෙකේම පාලනය එක් අවස්ථාවක ශ්‍රී ලංකාව සතුව පැවතිය ද බංග්ලාදේශය යළි තරගයට අවතීර්ණ වූයේ මුෂ්ෆිකර් රහීම්ගේ සුපිරි පිතිහරඹය පදනම් කර ගනිමින්. පළමු එක්දින තරගයේ එක් අවස්ථාවක ලකුණු 99ට කඩුලු 4ක් ලෙසත්, දෙවැනි තරගයේ දී එක් අවස්ථාවක ලකුණු 184ට කඩුලු 7ක් ලෙසත් බංග්ලාදේශයේ ලකුණු පුවරුව සටහන්ව තිබුණේ ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීම පිළිබද ඉහළ බලාපොරොත්තුවක් ඉතිරි කරමින්. කෙසේ වෙතත්, අනතුරුව තරග දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අතින් තරගයේ පාලනය ගිලිහී ගියා.

  • ශ්‍රී ලංකා කණ්ඩායම

ශ්‍රී ලංකා කණ්ඩායම සදහා අවසන් තරගයේ දී නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බව පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සදහන් කළා. කඩුලු රැකීමේ කාර්යය ද ඔහු විසින් ඉටු කරනු ඇති. පළමු තරග දෙකේදීම පිතිකරණ අංශයෙන් ශ්‍රී ලංකාව දුර්වල වූ බැවින් පිතිකරණ අංශය ශක්තිමත් කිරීම සදහා බොහෝ විට අශේන් බණ්ඩාර වෙනුවට නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට ඇතුළත් කිරීමට ඉඩ ඇති නමුත්, වෙනත් කිසිදු වෙනස්කමක් කණ්ඩායමේ සිදු නොකිරීමට ඉඩ තිබෙනවා.

  • බංග්ලාදේශ කණ්ඩායම

බංග්ලාදේශ සංචිතය සදහා ආරම්භක පිතිකරු මොහොමඩ් නයීම් කැදවා ඇති අතර, ඇතැම් විට තෙවැනි එක්දින තරගය සදහා ඔහු ක්‍රීඩා කරනු ඇති. ඒ, ලිටොන් දාස් වෙනුවටයි. දෙවැනි තරගයේ දී පන්දුවක් හිස් ආවරණයේ වැදී අනතුරකට ලක් වීම නිසා එම තරගයෙන් ඉවත් කෙරුණු මොහොමඩ් සයිෆුදීන් තෙවැනි තරගය සදහා ක්‍රීඩා කරන්නේ ද යන්න පිළිබද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

  • කාළගුණය

දෙවැනි එක්දින ක්‍රිකට් තරගය සදහා වර්ෂාවෙන් බාධා එල්ල වුව ද අවසන් තරගයට වර්ෂාවෙන් බාධාවක් එල්ල නොවනු ඇති බවටයි කාළගුණ අනාවැකි පල වී ඇත්තේ.

Leave a comment