Ultimate magazine theme for WordPress.

බැංගලෝරයට සැනසුම් සුසුමක්! නවසීලන්තයට එරෙහිව මැක්ස්වෙල්ගෙන් ප්‍රවේගකාරී ඉනිමක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දිය රුපියල් කෝටි 14.25 ක ඉහළ ලංසුවකට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදී ගත් ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් නවසීලන්තයට එරෙහිව අද(3) පැවැති තෙවැනි 20යි 20 තරගයේ දී සුපිරි ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් වුණා.

නිමා වූ පළමු 20යි 20 තරග දෙකේදී ඔහු ඉතාමත් දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කර ඇති පසුබිමක මෙම සුවිශේෂී ඉනිම මැක්ස්වෙල් විසින් ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

තරග 5 කින් සමන්විත නවසීලන්ත – ඔස්ට්‍රේලියා 20යි 20 තරගාවලියේ තෙවැනි තරගය වෙලින්ටන් නුවර දී අද පැවති අතර, තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 208 ක්.

නායක ආරෝන් ෆින්ච් පන්දු 44 කදී ලකුණු 69 ක් රැස් කළ අතර, ජෝෂ් පිලිපී පන්දු 27 කදී ලකුණු 43 ක් ලබා ගත්තා.

මන්දගාමීව ඉනිම ආරම්භ කළ ග්ලේන් මැක්ස්වෙල් ක්‍රමක්‍රමයෙන් ඉනිම වේගවත් කරමින් පන්දු 31 කදී වේගවත් ලකුණු 70 ක් රැස්කිරීමට සමත් වුණා.

එම ඉනිමට හයේ පහරවල් 5 ක් සහ හතරේ පහරවල් 8 ක් ඇතුළත්.

මැක්ස්වෙල් ක්‍රීඩා කළ පන්දු 31 ක මෙම ඉනිමේ අවසන් පන්දු 20 තුළ ඔහු ලකුණු 60 ක් වාර්තා කිරීම විශේෂත්වයක්.

පන්දු යැවීමේදී ඉෂ් සෝදී ලකුණු 32 කට කඩුලු 2 ක් බිඳ හෙලූ අතර, ටිම් සවුති සහ ට්‍රෙන්ට් බෝල්ට් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 209 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 17.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 144 ක් පමණයි.

මාර්ටින් ගප්ටිල් පන්දු 28 ක දී ලකුණු 43 ක් රැස්කළා.

ඩෙවෝන් කොන්වේ පන්දු 27 කදී ලකුණු 38 ක් සහ මාර්ක් චැප්මන් ලකුණු 18 ක් රැස්කළා.

සෙසු එකඳු පිතිකරුවෙකු හටවත් ලකුණු 15 සීමාව පසුකරයාමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෙකු ජාත්‍යන්තර 20යි 20 පිටියේදී පෙන්නුම් කළ හොඳම පන්දු යැවීම වාර්තා කළ ඇෂ්ටන් ඒගාර් පන්දුවාර 4 තුළ ලකුණු 30 ක් පමණක් ලබා දී කඩුලු 6 ක් බිඳ හෙලුනු ලැබුවා.

ඒ අනුව තෙවන තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 64 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කළ අතර,  තරගයේ වීරයා ලෙස ඇෂ්ටන් ඒගාර් සම්මානයෙන් පිදුම් ලැබුවා.

කෙසේ වෙතත්, තරග 2 – 1 ක් ලෙස තවදුරටත් 20යි 20 තරගාවලියේ පෙරමුණ ගෙන සිටින්නේ නවසීලන්ත කණ්ඩායමයි.

තරගාවලියේ අවසන් තරග දෙක එළඹෙන 05 වනදා සහ 07 වනදා පැවැත්වීමට නියමිතයි.

Leave a comment