Ultimate magazine theme for WordPress.

බ්‍රේවිස්ගේ හයේ වරුසාව හමුවේ ශ්‍රී ලංකාවට අනපේක්ෂිත පරාජයක්

Match Report

ලුතෝ සිපම්ලා ප්‍රමුඛ පන්දු යවන්නන් දැක් වූ දක්ෂතා හා ඩිවෝල්ඩ් බ්‍රේවිස්ගේ නොදැවුණු වේගවත් ලකුණු 98 හමුවේ ශ්‍රී ලංකා A කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට සංචාරක දකුණු අප්‍රිකා A කණ්ඩායම අද(4) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 264 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා A කණ්ඩායම පන්දුවාර 41.1 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා.

නායක ටෝනි ඩි සොර්සි ලකුණු 35 ක් ද, කීගන් පීටර්සන් ලකුණු 42 ක් ද රැස් කළා. ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 155 දී බිද වැටුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු ශ්‍රී ලංකාව වෙත හිමි කරමින්.

කෙසේ වෙතත්, අනතුරුව වේගවත් ඉනිම් ක්‍රීඩා කරමින් ඩිවෝල්ඩ් බ්‍රේවිස් හා Beyers Swanepoel දකුණු අප්‍රිකා A කණ්ඩායමට විශිෂ්ඨ ජයක් හිමි කර දුන්නේ 7 වැනි කඩුල්ලට පන්දු 67 කින් ලකුණු 113 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නගමින්.

බ්‍රේවිස් ලකුණු 98 ක් නොදැවී රැස් කළේ පන්දු 71 ක් පමනක් වැය කරමින්. ඔහුගේ ඉනිමට හයේ පහර 7 ක් හා හතරේ පහර 6 ක් ඇතුළත් වුණා. Swanepoel පන්දු 28 කින් ලකුණු 43 ක් නොදැවී රැස් කරමින් බ්‍රේවිස්ට අනගි සහායක් ලබා දුන්නා.

පන්දු යැවීමේ දී ඩිල්ෂාන් මදුෂංක හා ලක්ෂාන් සදකැන් කඩුලු 2 බැගින් බිද හෙලුවා. සහන් ආරච්චිගේ හා දුනිත් වෙල්ලාලගේ අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ජනිත් ලියනගේ පන්දු 79 කින් නොදැවී ලකුණු 76 ක් රැස් කළ අතර, නිශාන් මදුෂ්ංක ලකුණු 68 (82) යි. අශේන් බණ්ඩාර ලකුණු 41 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ලුතෝ සිපම්ලා ලකුණු 33 කට කඩුලු 3ක් බිද හෙලුවා.

කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 6 වැනිදා පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට නියමිතයි.

Leave a comment