Ultimate magazine theme for WordPress.

බලශක්ති අර්බුදයෙන් ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දිවා රාත්‍රී තරගවලටත් බලපෑම් එල්ල වන ලකුණු

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සැලසුම් කළ පරිදි පැවැත්වීමට මේ වන විටත් සූදානමින් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එම ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ක්‍රික්බස් වෙබ් අඩවිය වෙත සඳහන් කර ඇත්තේ ඉදිරි දිනවලදී රට තුළ පවතින තත්ත්වය පිළිබඳව සලකා බලා තරගාවලිය සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බවයි.

රට තුළ පවතින ආර්ථික අර්බුදයත් සමග ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයකින් ශ්‍රී ලංකාව පසුවන බව නොරහසක්.

ඒ අතරින් විශේෂයෙන්ම ඉන්ධන හිඟය හා විදුලිබල සැපයුම කප්පාදු කිරීම වැනි කරුණු ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගාවලිය සදහා ද බලපෑම් එල්ල කළ හැකියි.

ඒ අනුව සීමිත පන්දුවාර තරග දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නොහැකි වීමේ අවදානමක්ද මතුව ඇති බව සඳහන්.

රාත්‍රී කාලයේදී විදුලි ආලෝකය ලබා ගැනීමේ අර්බුදය මීට හේතු වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික විදුලි බල සැපයුමෙන් ක්‍රිකට් තරඟ සඳහා විදුලිබල සැපයුම ලබා ගන්නේ නැහැ.

ඔවුන් ඒ සඳහා යොදා ගන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු විදුලි ජනන යන්ත්‍රයි.

කෙසේ වෙතත්, ඉන්ධන හිගය හේතුවෙන් ඉන්ධන ලබා ගැනීමේ අපහසුතාවයකට මුහුණ දීමට සිදු වුවහොත් තත්ත්වය තරමක් වෙනස් මුහුණුවරක් ගනු ඇති.

දිවා තරග පවත්වන්නේ ද, දිවා රාත්‍රී තරග පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණය කරනුයේ සත්කාරක රට බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු ක්‍රික්බස් වෙබ් අඩවිය වෙත සඳහන් කර තිබුණේ.

“සංචාරය සිදු කිරීම ගැන වෙනසක් නැහැ. අපේ ආරක්ෂක ප්‍රධානියා තහවුරු කළා සැලසුම් කළ පරිදි සංචාරය සිදු කිරීම පිළිබද දෙපාර්ශවයෙන්ම කිසිදු ගැටලුවක් නැහැ කියලා. ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට ළගා වේවි ජූනි මාසයේ දී” යනුවෙන් එම ප්‍රකාශකයා සදහන් කළා.

මෙම තරගාවලිය ශ්‍රී ලංකාවෙන් පිටත පැවැත්වීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබූ බව සදහන්.

කෙසේ වෙතත්, ජූනි හා ජූලි මාසවල පවතින අධික උණුසුම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ක්‍රිකට් තරග පැවැත්වීම ද අසීරු කාර්යයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මූල්‍යමය වශයෙන් තවදුරටත් ශක්තිමත් වීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අතිශය වැදගත්.

මෙම සංචාරයෙන් ක්‍රිකට් ආයතනයට ලැබෙන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 3ක් පමණ වනවා.

තරගාවලිය අවසන් වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඩොලර් මිලියනයක පමණ ලාභයක් හිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

ජූනි හා ජූලි මාසවලදී සති 7ක් පුරා සිදු කරන මෙම තරග සංචාරයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව 20යි 20 තරග 3ක්, එක්දින තරග 5ක් හා ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

Leave a comment