Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශ ක්‍රීඩකයින්ට LPL දොර වැසේ

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා කිසිදු බංග්ලාදේශ ක්‍රීඩකයෙකු එක් නොවනු ඇති බව එරට ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් පවසනවා.

එල්.පී.එල් තරගාවලිය පැවැත්වෙන කාල සමයේ දී බංග්ලාදේශ ක්‍රීඩකයින් එරට දේශීය තරග සදහා සහභාගීවීමට නියමිතව ඇති බැවින් ඔවුන්ට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වන බවයි ඔහු සදහන් කර ඇත්තේ.

ඒ අනුව මේ වන විට තරග තහනමකට ලක්ව සිටින සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට අදාළ තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වනු ඇති.

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඔහුට පනවනු ලැබූ තරග තහනම ලබන 28 වනදා අවසන් වීමට නියමිතයි.

එල්.පී.එල් තරගාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසියට ශකිබ් අල් හසාන් හැරුණු විට මුෂ්ෆිකර් රහීම්, ටමිම් ඉක්බාල්, මෙහිදි හසාන්, රුබෙල් හුසේන්, මහ්මුදුල්ලාහ් රියාද්, මුස්ටෆිසුර් රෙහ්මාන්, සබීර් රෙහ්මාන් සහ මොහොමඩ් සයිෆුදීන් යන ක්‍රීඩකයින් එක්වීමට නියමිතව සිටි බවටයි වාර්තා පලව තිබුණේ.

තරගාවලිය නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් විදෙස් ක්‍රීඩකයින් 420 දෙනෙකු අයැදුම් කර තිබූ අතර, ඉන් 150 දෙනෙකු පමණක් ක්‍රීඩක වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර සදහන් කළා.

අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ඔක්තෝබර් පළමුවැනිදා පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසියේදී තරග වදින කණ්ඩායම් 5 සඳහා එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු වන පරිදි විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකු තෝරා ගැනීමේ හැකියාව පවතිනවා.

තරගාවලිය ලබන නොවැම්බර් 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා රංගිරි දඹුල්ල, පල්ලකැලේ සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර, මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් 3ක් මේ වන විට අලෙවි වී ඇති බව වාර්තා වුණා.

ගාල්ල, මහනුවර සහ යාපනය යන කණ්ඩායම් මෙලෙස අලෙවි වී ඇති අතර, කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් මිලදී ගැනීම සදහා පාර්ශව 6ක් පමණ කැමැත්තෙන් පසුවන බව සදහන්.

Leave a comment