Ultimate magazine theme for WordPress.

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා සංචාරයත් අවිනිශ්චිත වෙයි

බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය ද පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වනවා.

ඒ, තරගාවලියට එක්වන බංග්ලාදේශ ක්‍රීඩකයින් දින 14ක කාලයක් කිසිදු පුහුණුවීම් කටයුත්තක නොයෙදෙමින් නිරෝධායනයට ලක් විය යුතු බවට මෙරට සෞඛ්‍ය සහ ආරක්ෂක බළධාරීන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දී ඇති උපදෙස් හේතුවෙන්.

ඒ අනුව බංග්ලාදේශ ක්‍රීඩකයින් ලබන 27 වනදා දිවයිනට පැමිණීමෙන් අනතුරුව දින 14ක කාලයක් නවාතැන් ගන්නා හෝටලයේම රැදී සිටිය යුතුයි.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් 24 වනදා මහනුවර දී ආරම්භ කිරීමට නියමිතව ඇති නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙතෙක් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට තරගාවලියේ කාලසටහන සහ ජෛව ආරක්ෂක සැලසුම නිල වශයෙන් ඉදිරිපත් කිරීමට සමත් වී නැහැ.

බංග්ලාදේශය මේ වන විට සූදානමින් සිටින්නේ නිරෝධායන කාලසීමාව තුළ දී පුහුණුවීම් සහ සංචිතයේම ක්‍රීඩකයින් අතර පුහුණු තරග ක්‍රීඩා කිරීමටයි.

“ඔව්. ක්‍රීඩකයින් පුහුණුවීම් සිදු නොකර දින 14ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු බවට එරට ආරක්ෂක අංශ දැනුම් දී ඇතැයි අපට තොරතුරු වාර්තා වුණා. තවත් බොහෝ දේ විවිධ පාර්ශවයන්ගෙන් අපට දැනගන්නට ලැබුණා. නමුත් ඔවුන් මෙය නිල ජෛව ආරක්ෂක සැලසුම සහ කාලසටහන සමගින් පැහැදිලි කරන්නේ නැහැ. අපි තරග සංචාරය ගැන අවසන් තීරණයක් ගන්නේ ඔවුන්ගේ සැලසුම් සහ තරග කාලසටහන ලැබුණට පස්සේ. අපි ඒක ඉදිරි දින කිහිපයේ දී බලාපොරාත්තුවෙනවා.”

යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී අක්‍රම් ඛාන් විදෙස් ක්‍රීඩා මාධ්‍යකට සදහන් කර තිබුණා.

ජූලි – අගෝස්තු මාසවලදී මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙනුයි එය කල් දැමීමට සිදු වුණේ.

Leave a comment