Ultimate magazine theme for WordPress.

IPL පිටියට එන පුජාරාගේ 20යි 20 ක්‍රිකට් දිවිය ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද?

චෙටස්වර් පුජාරා යනු ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකු බව නොරහසක්.

ඔහුගේ සුපිරි සටන්කාමී ඉනිම් හමුවේ ඉන්දියාවට හිමි වූ ජයග්‍රහන ද අප්‍රමාණය.

ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ දී ද ටෙස්ට් තරගාවලියේ ජය ඉන්දියාවට හිමි කර දීම සදහා ඔහු ලබා දුන් සහාය සුළුපටු නොවේ.

මේ හේතුව නිසාම නිමා වූ අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී පුජාරාව සිය කණ්ඩායමට මිලදී ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉදිරිපත් වුණා.

ඒ, අමෙරිකානු ඩොලර් 50,000ක මුදලකටයි.

එම අවස්ථාවේ දී වෙන්දේසිය සිදු වූ ස්ථානයට පැමිණ සිටි සියලු දෙනා අත්පොළසන් දෙමින් චෙන්නායි කණ්ඩායමට සහ පුජාරාට සුබ පැතුම් එක් කිරීම කැපී පෙනුණු සිදු වීමක් බවට පත් වුණා.

අනතුරුව චෙන්නායි කණ්ඩායම ප්‍රකාශ කර තිබුණේ චෙටස්වර් පුජාරාට ගෞරව දැක්වීමට අවශ්‍ය බැවින් එලෙස ඔහුව මිලදී ගත් බවයි.

කෙසේ වෙතත්, ඔහුව අයි.පී.එල් තරගාවලියට තෝරා ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විවිධ මත පල කළා.

ටෙස්ට් පිටියේ දී ඉතා මන්දගාමීව පන්දුවට පහර දෙමින් සුපිරි ටෙස්ට් ඉනිම් දියක් කරන ඔහුගෙන් අයි.පී.එල් තරගවලදී සැලකිය යුතු දක්ෂතාවයක් අපේක්ෂා කළ නොහැකි වනු ඇති බවයි බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ.

2015 වසරේ සිට පැවැති සියලු අයි.පී.එල් වෙන්දේසිවලදී පුජාරාව මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

කෙසේ වෙතත්, ඔහු ඊට පෙර අයි.පී.එල් තරග 30කට ක්‍රීඩා කර තිබූ බව ඔබ දැන සිටියාද?

එමෙන්ම 20යි 20 පිටියේ දී ඔහු නොදැවුණු ශතකයට ද හිමිකම් කියන බව ඔබ දැන සිටියාද?

චෙටස්වර් පුජාරාගේ අයි.පී.එල් තරග දිවිය ආරම්භ වන්නේ 2010 වසරේ දී යි.

ඔහු එම අදියරේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් තරග 10කට ක්‍රීඩා කළ අතර, ඉනිමක ලකුණු සාමාන්‍ය සටහන්ව තිබුණේ 30.5ක් ලෙසයි.

එම තරග වාරයේ දී ලකුණු 122ක් රැස් කළ ඔහුගේ පිතිකරණ වේගය සටහන් වුණේ 106.08ක් වශයෙන්.

2011 තරග වාරයේ සිට 2013 තරග වාරය දක්වා පුජාරා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.

එහිදී ඉනිම් 10ක් පමණක් ක්‍රීඩා කළ ඔහුට ලබා ගත හැකි වූයේ ලකුණු 143ක් පමණයි.

අනතුරුව 2014 වසරේ දී චෙටස්වර් පුජාරා කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.

ඉනිම් 6කදී ලකුණු 125ක් ඔහු එහිදී ලබා ගත් අතර, ඉනිමක සාමාන්‍ය දැක් වුණේ 25ක් ලෙසයි.

අයි.පී.එල් තරගවලදී ඔහු ඉනිමක ලබා ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව 51ක්.

මෙතෙක් කිසිදු ජාත්‍යන්තර 20යි 20 තරගයකට පුජාරා ක්‍රීඩා කර නැතත්, 20යි 20 තරග 64ක ඉනිම් 56කදී ඔහු මේ වන විට රැස් කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1,356ක්.

නොදැවුණු ශතකයක් ද වාර්තා කර ඇති ඔහු අර්ධ ශතක 7ක් ද වාර්තා කර ඇති අතර, 20යි 20 ක්‍රිකට් පිටියේ දී පුජාරා හයේ පහර 20ක් සහ හතරේ පහර 158ක් එල්ල කිරීමට ද සමත්ව තිබෙනවා.

ඒ අනුව වසර 6කට පසුව යළි ඉන්දීය ප්‍රිමියර් ලීගයට එක් වන චෙටස්වර් පුජාරා කෙසේ සිය දක්ෂතා පෙන්නුම් කිරීමට සමත් වේවිදැයි බොහෝ දෙනෙකු මේ වන විට වඩාත් අවධානයෙන් බලා සිටින බව නොරහසක්.

Leave a comment