Ultimate magazine theme for WordPress.

ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙක් එංගලන්ත සංචාරය ප්‍රතික්ෂේප කළ සංවේදී හේතු මෙන්න

එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය පසුගියදා ප්‍රකාශයට පත් කළ බව අප මීට පෙර වාර්තා කළා.

කෙසේ වෙතත්, ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් ප්‍රධාන සංචිතයට සහ අමතර ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් සංචිතයට ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් වූයේ නැහැ.

කීමෝ පෝල්, ශිම්රන් හෙට්මයර් සහ ඩැරන් බ්‍රාවෝ එම ක්‍රීඩකයින් තිදෙනායි.

ඔවුන් මෙම තරග සංචාරයට එක් වීමට අකමැත්ත පල කිරීම හේතුවෙනුයි එම ක්‍රීඩකයින් සංචිතවලට නම් නොකිරීමට පියවර ගැණුනේ.

යම් ක්‍රීඩකයෙකු එංගලන්ත තරග සංචාරයට අකමැත්ත දක්වන්නේනම් එම තීරණයට ගරු කරන බව කොදෙව් ක්‍රිකට් ආයතනය මීට පෙර ද ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව පසුගිය සිකුරාදා ඩැරන් බ්‍රාවෝ තමාට තරග සංචාරයට එක් වීමට හැකි නොවන බවත්, ඊට හේතු සාධක පැහැදිලි කළ බවත්, සෙසු ක්‍රීඩකයින් දෙදෙනා සති අන්තයේ දී විද්‍යුත් පණිවිඩ (e-mail) ඔස්සේ තම තීරණය පිළිබද කොදෙව් ක්‍රිකට් ආයතනය දැනුවත් කළ බවත්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී Johnny Grave සදහන් කළා.

cricinfo වෙබ් අඩවය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කිසිදු සැකයකින් තොරව තරග සංචාරය සදහා එක්විය හැකි ක්‍රීඩකයින් තේරීම් සදහා සලකා බැලූ බවයි.

එසේ නොවුණහොත් එය ක්‍රීඩකයින්ගේ දක්ෂතාවලට ද බලපෑමක් එල්ල වනු ඇති බව ඔහුගේ අදහසයි.

“කීමෝ පෝල් තමයි ඔහුගේ සමස්ත පවුලේම එකම ආදායම් මාර්ගය (මුදල් උපයන්නා). ඔහුට යමක් සිදුවුවහොත් එය පවුලේ අය දරාගන්නේ කෙසේදැයි ඔහු දැඩි ලෙස සලකා බැලුවා.”

යනුවෙන් ප්‍රධාන විධායක නිළධාරී Johnny Grave සදහන් කළා.

“හෙට්මයර්ට නිවසින් බැහැරට යාම, පවුලෙන් බැහැර ගොස් එංගලන්තයට යාම තුළින් ආරක්ෂාව පිළිබද සෑහීමකට පත් වෙන්න පුලුවන් කමක් තිබුණේ නැහැ.”

පෝල් සහ හෙට්යමර් යන ක්‍රීඩකයින් දෙදෙනාම ගයානා හි පදිංචි වී සිටිනවා.

එහි වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 200කටත් වඩා අඩු අගයක් ගන්නා අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 12ක්.

ට්‍රිනිඩෑඩ්හි වාසය කරන ඩැරන් බ්‍රාවෝ එංගලන්තයේ මේ වන විට පවතින තත්ත්වය සම්බන්ධයෙන් සලකා බලා තරග සංචාරයට එක් නොවීමට තීරණය කළ බවයි කොදෙව් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා කියා සිටියේ.

“ඩැරන් බ්‍රාවෝ ඔහුගේ සෞඛ්‍ය ගැන මෙන්ම පවුලට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් සැලිකිලිමත් වුණා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම තමාට ඉමහත් ගෞරවයක් වන බැවින් ඔහු මේ තීරණය ගත්තේ ඉතා කණගාටුවෙන් කියලත් සදහන් කළා.”

මාස දෙකක පමණ කාලයක් පවුලෙන් බැහැරව සිටීමට සිදුවීමත්, යළි කොදෙව් දේශයට පැමිණිය ද පවතින නීරෝධායන ක්‍රියාවලි හේතුවෙන් කොපමණ කලක් යළි පවුල සමග එක් වීමට ගත වේදැයි යන අවිනිශ්චිතතාවයත් පදනම් කර ගනිමින් මෙම ක්‍රීඩකයින් තිදෙනා එංගලන්ත සංචාරය සදහා අකමැත්ත පල කළ ද, ඔවුන්ට බලකිරීමක් සිදු කිරීමට හෝ, එම තීරණය යළි සලකා බලන ලෙසට හෝ ඉල්ලීමක් නොකළ බව ද Johnny Grave කියා සිටියා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එංගලන්ත රජයේ අනුමැතියට යටත්ව ජූලි 8 වනදා සවුත්හැම්ටන්හී දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment