Ultimate magazine theme for WordPress.

ප්‍රධාන ICC තරගාවලි තුනක සත්කාරකත්වය සදහා ශ්‍රී ලංකාව ඉදිරිපත් වෙයි

2024 වසරේ සිට 2031 වසර දක්වා ජගත් ක්‍රිකට් කවුන්සලය සංවිධාන කරන ප්‍රධාන අයි.සී.සී තරගාවලි තුනක සත්කාරකත්වය දැරීම සදහා ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

පසුගිය 18 වැනිදා පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේ දී මෙම තීරණය ගත් බවයි ක්‍රිකට් ආයතනය අද(22) නිවේදනය කළේ.

ක්‍රිකට් ආයතනයේ පරිපලනය සදහා නව නිළධාරී මණ්ඩලය තේරී පත්වීමෙන් අනතුරුව පැවැති පළමු විධායක කමිටු රැස්වීම ද මෙයයි.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සහ ශූරයින්ගේ කුසලන තරගාවලිය යන ප්‍රධාන පිරිමි තරගාවලි ත්‍රිත්වය වෙනුවෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සත්කාරකතවය දැරීම වෙනුවෙන් සිය කැමැත්ත ප්‍රකාශ කරනු ඇති.

ඇතැම් තරගාවලි සදහා වෙනත් රටවල් සමග එක්ව සම සත්කාරක රටක් වශයෙන් කටයුතු කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව සදහන්.

2024 වසරේ සිට 2031 වසර දක්වා පැවැත්වෙන අයි.සී.සී තරගාවලි පසුගිය පළමු වැනිදා නිල වශයෙන් නිවේදනය කෙරුණා.

ඒ අනුව 2025 හා 2029 වසරවලදී යළිත් වරක් අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලියක් පැවැත්වීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කළේ.

ඒ සදහා රටවල් 8ක් එක් වීමට නියමිත අතර, අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරග ද 2025, 2027, 2029 සහ 2031 යන වසරවලදී ද පැවැත්වීමට නියමිතයි.

මේ අතර, 2027 සහ 2031 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි සදහා සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව ද 14ක් දක්වා ඉහළ නැංවීමටයි ජූනි පළමු වැනිදා පැවැති අයි.සී.සී රැස්වීමකදී තීරණය කෙරුණේ.

20යි 20 ලෝක කුසලාන තරගාවලි ද වසර දෙකකට වරක් පැවැත්වීමට යළි තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2024, 2026, 2028 සහ 2030 යන වසරවලදී 20යි 20 ලෝක කුසලාන තරගාවලි පැවැත්වෙන අතර, ඒ සදහා රටවල් 20ක් එක්වීමට නියමිතයි.

Leave a comment