Ultimate magazine theme for WordPress.

ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙකු විවේක ගන්වමින් ඉන්දීය 20යි 20 සංචිතය නම් කෙරේ

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා හා එංගලන්තය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය සදහා වන ඉන්දීය සංචිත අද(22) පස්වරුවේ නිවේදනය කෙරුණා.

20යි 20 තරගාවලියෙන් නිත්‍ය නායක රෝහිට් ෂර්මා විවේක ගන්වා ඇති අතර, එම තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ කේ.එල් රාහුල්ටයි.

රිෂාබ් පාන්ට් 20යි 20 කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කර තිබෙනවා. 20යි 20 සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 18ක්.

ෂර්මාට අමතරව සුපිරි පිතිකරු විරාට් කෝලි මෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ද 20යි 20 තරගාවලියෙන් විවේක ගන්වා තිබෙනවා.

එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය ද සැලකිල්ලට ගනිමින් ඔවුන්ව මෙලෙස විවේක ගන්වා ඇති බව සදහන්.

මෙවර අයි.පී.එල් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දක්වමින් සිටින දිනේෂ් කාර්තික්, අර්ශ්දීප් සිං හා උම්රාන් මලික් යන ක්‍රීඩකයින් ද 20යි 20 සංචිතයට ඇතුළත්.

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලිය ජූනි 9 වනදා සිට 19 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරඟ 5 දිල්ලි, කටක්, විසාකපට්නම්, රාජ්කොට් හා බැංගලූරුහී දී පැවැත්වෙන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

රෝහිට් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් සංචිතය සදහා ක්‍රීඩකයින් 17 දෙනෙකු නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට නම් නොකළ චෙටස්වර් පුජාරා යළි ඉන්දීය ටෙස්ට් සංචිතයට කැදවා තිබීම විශේෂත්වයක්.

මෙවර එංගලන්ත ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලියේ දී දැක් වූ දක්ෂතා ඊට හේතු වී තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම පසුගිය වසරේ දී එංගලන්ත තරග සංචාරයක නිරත වූ අතර, එහිදී පැවැති තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය, ඉන්දීය සංචිතය තුළින් කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීමත් සමග අත්හිටුවීමට තීරණය කෙරුණා.

අත්හිටුවීමට සිදු වූ එම පස්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මෙම වසරේ ජූලි පළමු වැනිදා සිට බර්මිංහැම් හී දී පැවැත්වීමටයි පසුව තීරණය කෙරුණේ.

ටෙස්ට් තරගාවලියේ පළමු තරග 4 අවසන් වන විට ඉන්දියාව තරග 2-1ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටියා.

20යි 20 හා ටෙස්ට් සංචිත –

T20I Squad : KL Rahul (C), Ruturaj Gaikwad, Ishan Kishan, Deepak Hooda, Shreyas Iyer, Rishabh Pant(VC) (wk),Dinesh Karthik (wk), Hardik Pandya, Venkatesh Iyer, Y Chahal, Kuldeep Yadav, Axar Patel, R Bishnoi, Bhuvneshwar, Harshal Patel, Avesh Khan, Arshdeep Singh, Umran Malik

TEST Squad : Rohit Sharma (C), KL Rahul (VC), Shubman Gill, Virat Kohli, Shreyas Iyer, Hanuma Vihari, Cheteshwar Pujara, Rishabh Pant (wk), KS Bharat (wk), R Jadeja, R Ashwin, Shardul Thakur, Mohd Shami, Jasprit Bumrah, Mohd Siraj, Umesh Yadav, Prasidh Krishna

Leave a comment