Ultimate magazine theme for WordPress.

පන්දු යවන්නන්ගේ සටන යළි අපතේ යයි; එංගලන්තය එක්දින තරගාවලියේ පෙරමුණ ගනියි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ද පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම අද(29) සමත් වුණා.

ඩර්හැම්හි චෙස්ටර් ලී ස්ට්‍රීට්හි පැවැති තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් යළිත් අසාර්ථක වූ අතර, පන්දු රැකීමේ දී සිදු වූ යම් යම් දුර්වලතා ද තරගය පරාජය වීමට බලපෑවා.

ඒ අනුව මෙම තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ එංගලන්තය තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පෙරමුණ ගත්තේ තරග 1-0ක් ලෙසයි.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 42.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 185ක් පමණයි.

නායක කුසල් ජනිත් ලකුණු 73ක් සහ වනිදු හසරංග ලකුණු 54ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමට යම් සහනයක් ලබා දුන් අතර, චාමික කරුණාරත්න නොදැවී ලකුණු 19යි.

සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවට ළගා වීමට හැකි වූයේ නැහැ.

ශ්‍රී ලංකා ඉනිමේ දී වාර්තා වූ අතිරේක ලකුණු සංඛ්‍යාව 17ක්.

මෙම තරගයේ දී එක්දින වරම් දිනා ගත් චරිත් අසලංක සහ ධනංජය ලක්ෂාන් පිළිවෙලින් ලකුණු බින්දුවකට සහ ලකුණු දෙකකට දැවී ගියා.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් කඩුලු 4ක් දවා ගත් අතර, ඩේවිඩ් විලී කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 34.5ක් අවසානයේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දීමට ජොනී බෙයාර්ස්ටව් සමත් වුණේ පන්දු 21කින් ලකුණු 43ක් වාර්තා කරමින්.

කෙසේ වෙතත්, අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ප්‍රබල අභියෝගයක් එංගලන්ත පිතිකරුවන්ට එල්ල වූ අතර, එහි ප්‍රතිපලය වූයේ එංගලන්ත ඉනිමේ කඩුලු 4ක් ලකුණු 80කට දැවී යාමයි.

පසුව පිටියට පිවිසි මොයීන් අලී පළමු පන්දුවෙන්ම දවා ගැනීම සදහා පහසු අවස්ථාවක් ශ්‍රී ලංකාවට හිමි වූ නමුත්, කුසල් ජනිත් විසින් ඔහු අතට ආ උඩ පන්දුව නිසි පරිදි රැක නොගැනීම නිසා තරගය ජය ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තිබූ සුළු බලාපොරොත්තුවක් ද අහිමි වී ගියා.

පස්වන කඩුල්ල සදහා අලී සහ ජෝ රූට් අතර ගොඩ නැගුණු සබදතාවය ලකුණු 91ක්.

මොයීන් අලී ලකුණු 28ක් රැස් කළ අතර, රූට් නොදැවී ලකුණු 79යි.

රූට් ලකුණු 36ක් ලබා සිටියදී ලබා දුන් තරමක් අපහසු උඩ පන්දුවක් රැක ගැනීමට දුෂ්මන්ත චමීරට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර කඩුලු 3ක් බිද හෙලූ අතර, බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

මෙම තරගයේ දී එක්දින වරම් දිනා ගත් ප්‍රවීන් ජයවික්‍රමට එක් පන්දුවාරයක් පමණක් යොමු කිරීමට අවස්ථාව ලබා දුන් අතර, ධනංජය ලක්ෂාන් යොමු කළේ පන්දුවාර 2ක් පමණයි.

Leave a comment