Ultimate magazine theme for WordPress.

පතිරණගේ දුර්වලතාවයක් ගැන මාලිංග කරුණු පහදයි

"මට ඕන කොහොම හරි ඔහුව මට වඩා හොඳ තත්ත්වයකට පත් කරන්න. මම හිතන්නේ මීළග ටෙස්ට් සංචාරයේ දී ඔහුව සම්බන්ධ කර ගන්න බලන්න. ඒ් වගේම ඔහුට එක්දින තරගත් ලබා දෙන්න."

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක මතිෂ පතිරණ ජාත්‍යන්තර ක්‍රිකට් තරග සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් සිය දක්ෂතා තවදුරටත් වර්ධනය කර ගත යුතු බව ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලසිත් මාලිංග පවසනවා.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

නව පන්දුව දෝලනය කිරීම සම්බන්ධයෙන් ඔහුට ගැටලුවක් පවතින බවත්, පන්දුව දෝලනය කිරීමේ දක්ෂතාවය මතීෂ වර්ධනය කර ගත යුතු බවත්, මාලිංග පෙන්වා දෙනවා.

“ඔහු අයි.පී.එල් තරගාවලියේ දී හොදින් පන්දු යවනවා. නමුත් ජාත්‍යන්තර තරග සදහා සූදානම් වීමට ඔහු තව පොඩ්ඩක් (දක්ෂතා) වර්ධනය කර ගත යුතුයි.” යනුවෙන් ලසිත් මාලිංග කියා සිටියා.

“මෙවර අයි.පී.එල් තරගාවලියේ දී මෙන් ජාත්‍යන්තර තරගවලදී ඔබට ක්‍රීඩකයින් 12 දෙනෙකු සමග ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන් ඔහුව අවසන් පන්දුවාර යොමු කරන්නෙකු (death bowler) ලෙස චෙන්නායි කණ්ඩායමේ දී පමණක් යොදා ගන්නවා. නමුත් ඔහු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ දී සිද්ධ වෙනවා පවර්ප්ලේ අවස්ථාවේ දී පන්දු යවන්න. එතකොට තමයි පන්දුව දෝලනය කරන්න අවශ්‍ය වන්නේ. එම දක්ෂතාවය දැන් ඔහුට නැහැ.”

“Impact Player නීතිය නිසා ඔහුට හොද අවස්ථාවක් ලැබුණා. ඔහුට පන්දු යවන්න ආරම්භ කරන්න පුලුවන් පන්දුවාර 12 දී 13 දී. ඉතිං අලුත් පන්දුවෙන් පන්දු යැවීමට ඇති දුර්වලතාවය අඩු වෙනවා(මග හැරෙනවා). ඒ වගේම ඔහුට එරෙහිව පිතිකරුවන්ට පහර දීමට සිද්ධ වෙන අවස්ථාවේ දී යි ඔහු පන්දු යවන්නේ. මේ ඉරියව්වෙන් ඔබ පන්දු යවන්නේ නම් පන්දුව හදුනා ගන්න පිතිකරුවන්ට අමාරුයි.  මේ වන විට ඔහුට තියෙන පාලනයත් සමග මෙන්ම මානසික ශක්තිය නිසා ඔහුට හොදින් දක්ෂතා දක්වන්න පුලුවන් වෙලා තියෙනවා. ඔහුට හොද නායකයෙකුත් ලැබිලා තියෙනවා ඔහු වෙනුවෙන් හොදින් පන්දු රකින්නන් සකස් කරන.” 

පැයට කිලෝ මීටර් 145 ක පමණ වේගයකින් යෝකර් පන්දු යැවීමට මතීෂට හැකියාව පැවතීම ඉතා අනර්ඝ නමුත්, ඔහු තවදුරටත් යෝකර් පන්දු පාලනයකින් යුතුව යැවිය යුතු බව මාලිංග සදහන් කළා.

“එම් එස් දෝනි හඳුනාගෙන තියෙනවා තාම අලුත් පන්දුවෙන් ඔහුට පන්දු යවන්න බෑ කියලා. ඒ වගේම ඔහු ජාත්‍යන්තර තරග ක්‍රීඩා නොකරන දේශීය ඉන්දීය පිතිකරුවන්ට එරෙහිව ඔහුව යොදා ගන්නවා. 145 ක වේගයත් සමග හා ඔහුගේ ඉරියව්වත් සමග ඔවුන්ට අමාරුයි ඔහුට එරෙහිව ක්‍රීඩා කරන්න. ඒ, එම් එස්ගේ 20 වසරක අත්දැකීම්. “

මේ අතර, මතීෂ පතිරණ ටෙස්ට් තරග ක්‍රීඩා නොකළ යුතු බවට එම් එස් දෝනි මෑතකදී කළ ප්‍රකාශයට ප්‍රතිවිරුද්ධ මතයක් මාලිංග විසින් දරනු ලබනවා.

“ඔහු අයි.සී.සී තරගාවලි පමණක් ක්‍රීඩා කළ යුතු යැයි දෝනි කියනවා. ඔහු විහිලුවට එහෙම දෙයක් කිව්වද කියලත් හිතෙනවා (සිනාසෙමින්). ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනකොට එය කරන්න අමාරුයි.

“ඔහුට සමහරු රතු පන්දු තරග ක්‍රීඩා කරන්න එපා කියලා කියන්නේ ආබාධවලට ලක්වෙයි කියලා හිතලා වෙන්න ඇති. මම ක්‍රීඩා කරේ රතු පන්දු තරග මුළින්ම. කවුරුත් මට කීවේ නැහැ එහෙම දෙයක්. මම 2004 වසරේ සිට 2010 වසර දක්වා රතු පන්දු තරග ක්‍රීඩා කළා, නමුත්, මට තිබුණා වසර 16ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියක්. මම අයි.පී.එල් ගොඩක් ක්‍රීඩා කළා වගේම බිග් බෑෂ් සහ අනෙකුත් ලීග් තරගාවලි ක්‍රීඩා කළා. මම කවදාවත් ආබාධයක් වෙලා ක්‍රීඩාංගනයෙන් ඉවත් වෙලා නැහැ. සමහර විට ගොඩක් අය මට විරුද්ධ වෙයි. නමුත් මම හිතන්නේ නැහැ ඔහු ආබාධයකට ලක් වෙයි කියලා අපි උපකල්පනය කළ යුතුයි කියලා. මම මේ විදියට ක්‍රිකට් ක්‍රීඩා කරලා එයා වගේ බෝල් කරලා තියෙනවා. ඒ නිසා මම දන්නවා අභියෝග මොනවද කියලා.”

“මම ඔහුට කියනවා, ඔබේ ටෙස්ට් කැප් එක ගන්න. සමහර විට ඔබ එකක් පමණක් සෙල්ලම් කරාවි. සමහර විට ඔබ 10 ක් ක්‍රීඩා කරයි. සමහර විට ඔබ 100 ක්‍රීඩා කරයි – කවුද දන්නේ? ඔහු ටෙස්ට් තරඟ 15-20 ක් ක්‍රීඩා කරන විට, ඔහු තම පන්දු යැවීමේ යෝග්‍යතාවය සහ ඔහුගේ දක්ෂතාවය පමණක් නෙවෙයි වර්ධනය කර ගන්නේ, දවාගැනීම් සඳහා පිතිකරුවන්ව සකස් කර ගන්නේ කෙසේදැයි දැන ගන්නවා.”

“මට ඕන කොහොම හරි ඔහුව මට වඩා හොඳ තත්ත්වයකට පත් කරන්න. මම හිතන්නේ මීළග ටෙස්ට් සංචාරයේ දී ඔහුව සම්බන්ධ කර ගන්න බලන්න. ඒ් වගේම ඔහුට එක්දින තරගත් ලබා දෙන්න. බලන්න ඔහු කොහොමද මීළග අවුරුදු 3 ක්‍රීඩා කරන්නේ කියලා. ඊළගට බලන්න අනාගතය කුමක් විය යුතු ද කියලා. ඉදිරි වසර තුන තුළ ඔහු ටෙස්ට් තරග 10ක් හෝ 15ක් ක්‍රීඩා කළහොත් එය ඔහුගේ දියුණුවට ඉතා අගනා දෙයක් වේවි.”

Leave a comment