Ultimate magazine theme for WordPress.

නීතියක් නැති නිසා කෝලිට දඩුවම් නැහැ ; අයි.සී.සී තරග තීරකගේ තීරණය මෙන්න

දකුණු අප්‍රිකාව සමග පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමේ දී ඉන්දීය නායක විරාට් කෝලි හා සෙසු ක්‍රීඩකයින්ගේ නුසුදුසු හැසිරිම සම්බන්ධයෙන් එම තරගයේ තරග තීරකවරයා වූ ඇන්ඩි පයික්‍රොෆ්ට් විසින් ඉන්දීය කණ්ඩායමට අනතුරු ඇගවීමක් සිදු කර ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

මේ සම්බන්ධයෙන් මෙතෙක් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිල නිවේදනයක් නිකුත් කර නැතත්, විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ තරග තීරකවරයා විසින් ඉන්දීය කණ්ඩායමේ කළමණාකාරීත්වය සමග කළ සාකච්ඡාවකදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවවාද කිරීමක් සිදු කර ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විරාට් කෝලිට හෝ ඉන්දීය කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට දඩුවම් පැනවීමක් සිදු කර නැහැ.

මෙවැනි වරදවල් යළිත් සිදු කරන්නේනම් ක්‍රීඩකයින්ට එරෙහිව දඩුවම් නියම කිරීමට හැකි බවට ද තරග තීරකවරයා පවසා ඇති බව සදහන්.

දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමේ 21 වැනි පන්දුවාරයේ දී ආර්. අශ්වින් යොමු කළ පන්දුවක් හමුවේ ඩීන් එල්ගර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගිය පිතිකරුවෙකු ලෙස පිටියේ විනිසුරු නම් කළ නමුත්, එම තීරණයට එරෙහිව එල්ගර් විසින් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (DRS) යොදා ගනු ලැබුවා.

එහිදී ඔහු නොදැවුණු ක්‍රීඩකයෙකු ලෙසටයි නම් කෙරුණේ.

කෙසේ වෙතත්, ඊට දැඩි විරෝධයක් ඉන්දියාවෙන් එල්ල වූ අතර, නායක විරාට් කෝලි ඇතුළු ඉන්දීය ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කඩුල්ලට සවි කර ඇති මයික්‍රොෆෝනය (stump mic) වෙත ළගා වී අදාළ තීරණයට සිය අප්‍රසාදය දැඩිව පල කරනු දක්නට ලැබුණා. (දර්ශන පහතින්)

නමුත්, ඔවුන් එලෙස සිය අප්‍රසාදය පල කළේ රූපවාහිනී විකාශන ආයතනයට හා DRS තාක්ෂණයට එරෙහිව වන බැවින් ද, එය තරග නිළධාරීන්ට එරෙහි විරෝධයක් නොවන බැවින් ද, එවැනි අවස්ථාවක් සදහා දඩුවම් නියම කිරීමට අයි.සී.සී විනය නීති සංග්‍රහයේ වගන්තියක් නොමැති බැවින් ද ඉන්දියාවට කිසිදු දඩුවමක් නියම කර නොමැති බවයි වාර්තා වන්නේ.

තෙවැනි ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු 7ක පරාජයක් ලැබීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී නායක විරාට් කෝලිගෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

“මට කියන්න අදහසක් නැහැ. පිටියේ සිදු වූ දේ මට වැටහුණා, පිටත සිටින මිනිසුන් පිටියේ මොනවා වෙනවද කියලා හරියටම දන්නේ නැහැ.” යනුවෙන් කෝලි කියා සිටියා.

කෙසේ වෙතත්, කෝලි ඇතුළු ඉන්දීය ක්‍රීඩකයින්ගේ හැසිරීම ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගම්භීර්, එංගලන්ත හිටපු ක්‍රිකට් නායක මයිකල් වෝන් ඇතුළු හිටපු ක්‍රීඩකයින්ගේ මෙන්ම තවත් පාර්ශව රැසකගේ දැඩි විවේචනයට ද ලක් වුණා.

Leave a comment