Ultimate magazine theme for WordPress.

දිල්ෂාන්, ප්‍රවීන්, සුමින්ද ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ දසුන්ගේ පිලට අමිහිරි පරාජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 32 ක ජයක් වාර්තා කිරීමට චරිත් අසලංක නායකත්වය දරන SLC Blues කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ දී පරාජයට පත් වූයේ දසුන් ශානක නායකත්වය දරන SLC Greens කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, ප්‍රබල පිතිකරුවන් කිහිප දෙනෙකුම ක්‍රීඩා කරන Blues කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 122 ක් පමණයි.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 3කටත්, සධීර සමරවික්‍රම එක් ලකුණකටත් දැවී ගියා. නායක චරිත් අසලංක ලකුණු 23 ක් ලබා ගත්තේ පන්දු 14 කින්. ධනංජය ද සිල්වා ලකුණු 14 කට දැවී ගියා. චාමික කරුණාරත්නට ලකුණු රැස් කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

සුමින්ද ලක්ෂාන් ලකුණු 10 කට දැවී ගිය අතර, කසුන් රාජිත ලකුණු 19 ක් රැස් කළා. අශේන් බණ්ඩාර පන්දු 34 කින් ලකුණු 37 ක් නොදැවී ලබා ගනිමින් සිය කණ්ඩායම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 12කට කඩුලු 3ක් දවා ගත්තා.

Greens කණ්ඩායම පහසු ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසිය ද ඔවුන්ට පන්දුවාර 18.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 90 ක් පමණයි.

පැතුම් නිස්සංක ලකුණු 16ටක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 11 කටත් දැවී ගිය අතර, හුදෙකලා සටනක නිරත වූ නායක දසුන් ශානක පන්දු 39 කින් ලකුණු 37 ක් ලබා ගත්තා.

නිරෝෂන් දික්වැල්ල හා නුවනිදු ප්‍රනාන්දු ලකුණු නොලබා දැවී ගිය අතර, ධනංජය ලක්ෂාන් එක් ලකුණකට දැවී ගියා. රමේෂ් මෙන්ඩිස් ලකුණු 9යි.

පන්දු යැවීමේ දී දිල්ෂාන් මදුශංක, ප්‍රවීන් ජයවික්‍රම හා සුමින්ද ලක්ෂාන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

මේ අතර, අද පැවැති මෙවර තරගාවලියේ පළමු තරගයෙන් SLC Greys කණ්ඩායම (120/9) පරදා කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට SLC Reds කණ්ඩායම ( 121/4 (16.5) ) සමත් වුණා.

Leave a comment