Ultimate magazine theme for WordPress.

දිමුත්ගේ සහ තිරිමාන්නගේ ශතක හමුවේ පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව යටතට – Day 1 Report

දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ද්විත්ව ශතක සබදතාවය හේතුවෙන් බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද නිමා වන විට තරගයේ සම්පූර්ණ පාලනය තමන් වෙත හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමු දිනය නිමා වන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 291ක් ලබා සිටියා.

නායක දිමුත් කරුණාරත්න සිය 12 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 118කට දැවී ගිය අතර, පන්දු 190කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 15ක් ඇතුළත්.

අද දිනයේ දී දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 5000 ලකුණු සීමාව පසු කර යාම ද විශේෂත්වයක්.

එම කඩඉමට ළගා වූ 10 වැනි ශ්‍රී ලංකා පිතිකරුවා වන්නේ ඔහුයි.

සිය 3 වන ටෙස්ට් ශතකය වාර්තා කළ ළහිරු තිරිමාන්න නොදැවී ලකුණු 131යි.

ඔහුගේ ඉනිම හතරේ පහර 14කින් වර්ණවත් වුණා.

ඔවුන් දෙදෙනා අතර ප්‍රථම කඩුල්ලට ලකුණු 209 ක විශිෂ්ඨ ආරම්භක සබදතාවක් ගොඩනැගුණු අතර, ඒ අනුව දිමුත් සමගින් තිරිමාන්න වාර්තා පොත් අලුත් කරනු ලැබුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් පිටියේදී නොකඩවා ඉනිම් තුනකදී ශතකයට වැඩි ආරම්භක සබදතාවක් ගොඩනගන ලද ප්‍රථම පිතිකරණ යුගලය ලෙසයි.

ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 40(98)යි.

පන්දු යැවීමේ දී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ශොරිෆුල් ඉස්ලාම් ලකුණු 52කට එක් කඩුල්ලක් දවා ගත්තා.

අද තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රවීන් ජයවික්‍රම ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත්වූ අතර, ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 156 වන ක්‍රීඩකයායි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් ද කැදවා තිබෙනවා.

ඔවුන් දෙදෙනා කණ්ඩායමට කැදවා ඇත්තේ ළහිරු කුමාර (ආබාධයක් නිසා) සහ වනිදු හසරංග වෙනුවටයි.

Leave a comment