Ultimate magazine theme for WordPress.

දින 115කට පෙර කොළඹ දී අවසන් වූ ටෙස්ට් ක්‍රිකට් යළි ආරම්භයට සියල්ල සූදානම්

කොරෝනා වසංගතයත් සමග අත්හිටුවීමට සිදු වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග අද සිට යළි ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ, එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද ආරම්භ වන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියත් සමගින්.

තරගාවලියේ පළමු තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට සවුත්හැම්ටන්හී  දී ආරම්භ වීමට නියමිතයි.

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කළ සිව්දින පුහුණු තරගය මීට දින 115කට පෙර අතරමග නවතා දැමීමෙන් පසු ටෙස්ට් තරග රටාවේ තරගයක් ආරම්භ වන පළමු අවස්ථාව මෙයයි.

මේ අතර, පළමු තරගයේ දී එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බෙන් ස්ටොක්ස්ට හිමිව තිබෙනවා.

ඒ, පෞද්ගලික හේතුවක් නිසා මෙම තරගයට නිත්‍ය නායක ජෝ රූට් ක්‍රීඩා නොකිරීම හේතුවෙන්.

බෙන් ස්ටොක්ස් එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දරන පළමු අවස්ථාව මෙය වන අතර ඔහු එංගලන්ත ටෙස්ට් කණ්ඩායම මෙහෙයවන 81 වැනි නායකයා ලෙසයි ඉතිහාසයට එක්වන්නේ.

මේ අතර, මෙම  ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී “Black Lives Matter” නම් ලාංඡනය සිය කමිසයන්හි කරපටියෙහි පැළදීමට බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත ක්‍රීඩකයින් තීරණය කර තිබෙනවා.

ඒ, කලු ජාතිකයින් සදහා සාමානාත්මතාවය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ලොව පුරා ආරම්භ වූ සටනට සහය ලබා දීමක් වශයෙන්.

 

Leave a comment