Ultimate magazine theme for WordPress.

දැවැන්ත ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තයට වාර්තාගත ජයග්‍රහණයක්

එංගලන්ත කණ්ඩායම සමග පැවැති තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන හා අවසන් තරගයේ ජයග්‍රහණය විශිෂ්ඨ හඹායාමකින් සනිටුහන් කිරීමට සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමත්වුණා.

ඒ ලකුණු 329 ක දැවැන්ත ඉලක්කයක් සාර්ථකව හඹා යමින්.

ස්වුත්හැම්ටන් ක්‍රීඩා පිටියේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් අයර්ලන්ත කණ්ඩායමේ නායක Andy Balbirnie ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත පිලේ මුල් කඩුලු 3 ලකුණු පුවරුව 44 ක්ව තිබියදී දවාගැනීමට අයර්ලන්ත පන්දුයවන්නෝ සමත්වුණා.

ඉයන් මෝගන් සමගින් පිටියේ එකතු වූ ටොම් බැන්ටන් හතරවන කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 146 ක්.

ඉයන් මෝගන් සිය 13 වන එක්දින ශතකය වාර්තා කරමින් පන්දු 84 කදී ලකුණු 106 ක් වාර්තා කිරීමට සමත්වුණා.

21 හැවිරිදි  ටොම් බැන්ටන් ලකුණු 58 කට දැවී ගියා.

එංගලන්ත ඉනිමේ පළමු කඩුලු 7 ලකුණු 216කට බිද වැටුණත් පසුපෙල පිතිකරුවන්ද ලකුණු පුවරුවට සිය උපරිම දායකත්වය දෙමින් එංගලන්ත ඉනිම ලකුණු 328ක් දක්වා ඉහළ නැංවීමට සමත් වුණා.

ඩේවිඩ් විලී ලකුණු 51 ක්, ටොම් කරන් නොදැවී ලකුණු 38 ක් ලබා ගත් අතර, එංගලන්ත ඉනිමේ සියලු දෙනා  පන්දුවාර 49.5 කදී දැවී ගියා.

පන්දු යැවීමේ දී Craig Young කඩුලු 3 ක් බිඳ දමද්දී Curtis Campher හා Josh Little අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ලකුණු 329 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලෙස Gareth Delany ලකුණු 12 කට දැවීගියා.

ඉන් අනතුරුව සාර්ථක පිතිහරඹයක නිරත වූ Paul Stirling හා Andy Balbirnie දෙවන කඩුල්ලට ලකුණු  214 ක දැවැන්ත සබදතාවක් ගොඩනැගුවේ අයර්ලන්තයේ ජයග්‍රහණ බලාපොරොත්තු ඉහළ නංවමින්.

විශිෂ්ඨ ඉනිමක්  ක්‍රීඩ කළ Paul Stirling ලකුණු 142 ක් රැස් කළ අතර නායක Andy Balbirnie සිය හයවන එක්දින ශතකය වාර්තා කරමින් රැස්කරගත් ලකුණු සංඛ්‍යාව  113 ක්.

Harry Tector හා කේවින් ඕබ්‍රයන් (Kevin O’Brien) එකතුව ලකුණු 50 ක නොබිඳුනු සබදතාවක් ගොඩනගමින් අයර්ලන්තයට අමතක නොවන ජයග්‍රහණයක් රැගෙන ආවා.

ඒ අනුව ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 329 ක් හඹා ගොස් තරගය ජය ගත් අයර්ලන්ත කණ්ඩායම වාර්තා පොත් අලුත් කරනු ලැබුවේ එංගලන්තයේදී සංචාරක කණ්ඩායමක් වාර්තා කළ හොඳම හඹායාම සටහන් කරමින්.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැති තරග 3කින් යුත් එක්දින තරගාවලිය නිමා වුණේ තරග 2-1ක් ලෙස එංගලන්තයට ජය හිමි කර දෙමින්.

Leave a comment