Ultimate magazine theme for WordPress.

ද්විත්ව ශතක සබදතාවයක් සමග සිම්බාබ්වේ පිල එක්දින තරගාවලියෙනුත් බංග්ලාදේශය පරදයි

Match Report

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් එක්දින තරගාවලියේ ජය ද තරගයක් ඉතිරිව තිබියදීම තහවුරු කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (7) සමත් වුණා.

ලකුණු 304ක් හඹා ගොස් පළමු එක්දින තරගයෙන් ජය ගත් ඉහළ මානසිකත්වය ද සහිතව අද තරගය ජය ගැනීම සදහා ලකුණු 291 ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 47.3 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පළමු තරගයේ දී මෙන්ම දෙවැනි එක්දින තරගයට ද සිම්බාබ්වේ මුල්පෙල පිතිකරුවන්ගෙන් දැවැන්ත හඹා යාමකට අවශ්‍ය සාර්ථක ආරම්භය ලබා දුන්නේ නැහැ.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 27 ක් තුළ බිද වැටුණා. සිව්වැනි කඩුල්ල ලකුණු 49 දී බිද වැටුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද ඉහළ බලාපොරොත්තු බංග්ලාදේශයට හිමි කර දෙමින්.

කෙසේ වෙතත්, අනතුරුව 5 වැනි කඩුල්ල සදහා සිකන්ඩ රාසා හා නායක රෙජිස් චකබ්වා පන්දු 169 කින් ලකුණු 201 ක සුපිරි සබදතාවයක් ගොඩ නැගීමට සමත් වුණේ තරගයේ සම්පූර්ණ පාලනය සිය කණ්ඩායම වෙත නතු කරමින්.

අඛණ්ඩව සිය දෙවැනි ශතකය ද වාර්තා කළ රාසා පන්දු 127 කින් ලකුණු 117 ක් නොදැවී වාර්තා කරමින් සිම්බාබ්වේ කණ්ඩායම ආරක්ෂිතව ජයග්‍රාහී ඉලක්කය වෙත රැගෙන ගියා. ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 8 ක් ඇතුළත්.

සිය මංගල එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළ චකබ්වා පන්දු 75 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 102ක්. හයේ පහර 2කින් හා හතරේ පහර 10 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළ ටෝනි මුන්යොන්ගා පන්දු 16 කින් හයේ පහර 2ක් හා හතරේ පහර 2ක් සමගින් වේගවත් ලකුණු 30 ක් නොදැවී වාර්තා කරමින් සිම්බාබ්වේ කණ්ඩායමට විශිෂ්ඨ ජයක් තහවුරු කර දුන්නා.

පන්දු යැවීමේ දී හසාන් මහ්මුද් හා මෙහිදි හසාන් මිරාස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

හරාරේ හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 290ක් ලබා ගත්තේ කඩුලු 9 ක් දැවී සිටියදීයි.

මහ්මුදුල්ලාහ් නොදැවී ලකුණු 80 ක් හා නායක ටමිම් ඉක්බාල් ලකුණු 50 රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී සිකන්ඩ රාසා ලකුණු 56 කට කඩුලු 3 ක් දවා ගත්තා.

දෙරට අතර පැවැති 20යි 20 තරගාවලියෙන් ද තරග 2-1 ක් ලෙස ජය වාර්තා කළේ සිම්බාබ්වේ කණ්ඩායමයි.

Leave a comment