Ultimate magazine theme for WordPress.

දඹුල්ලට එරෙහිව ගාල්ල අවසන් තරගයට

ජාතික සුපිරි ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ (National Super League 4-Day Tournament) අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගාල්ල කණ්ඩායම අද (26) සමත් වුණා.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ගාල්ල කණ්ඩායම හා මහනුවර කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැති අතර, එම තරගය නිමා වුණේ ජය පරාජයෙන් තොරවයි.

කෙසේ වෙතත්, පළමු ඉනිමේ ජයක් වාර්තා කරමිනුයි ගාල්ල කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ.

ඒ අනුව ලබන දෙවැනිදා ගාලු ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන අවසන් මහා තරගයේ දී ඔවුන් දඹුල්ල කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.

Also Read : යාපනය පරදා දඹුල්ල අවසන් මහා තරගයට

පළමු අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 658 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවූ අතර, පිළිතුරු ලෙස මහනුවර කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 227 ක් පමණයි.

අනතුරුව ගාලු කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 212 ක් රැස් කර සිටියදී සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ, ජයග්‍රහනය සදහා මහනුවරට ලකුණු 644 ක දැවැන්ත ඉලක්කයක් ලබා දෙමින්.

තරගයේ සිව්වැනි හා අවසන් දිනය වූ අද දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහනුවර කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලබා සිටියේ ලකුණු 299 ක් පමණයි.

මෙම තරගයේ ගාලු පළමු ඉනිමේ දී සොහාන් ද ලිවේරා (ලකුණු 133) මෙන්ම මහනුවර දෙවැනි ඉනිමේ දී ලසිත් කෘෘස්පුල්ලේ (ලකුණු 101) ශතක වාර්තා කළා.

Leave a comment