Ultimate magazine theme for WordPress.

දග පන්දු යවන්නන්ගේ හා පිතිකරණයේ දුර්වලතා හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 10ක අන්ත පරාජයක්

Match Report

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 10ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(1) සමත් වුණා.

ගාල්ලේ පැවැති තරගය ජය ගැනීම සදහා දෙවැනි ඉනිමේ දී ලකුණු 5ක පහසු ඉලක්කයක් ඔස්ට්‍රේලියාවට හිමි වූ අතර, ඔවුන් එය පන්දු 4ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී පසු කර ගියා. (10/0)

අද දිනට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 8ක් දැවී ලකුණු 313ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 321ක්.

අද දිනයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ අවසන් කඩුලු දෙක දවා ගැනීමට සමත් වුණේ අසිත ප්‍රනාන්දු විසින්. ලකුණු 26ක් ලබා සිටි පැට් කමින්ස් හා එක් ලකුණක් ලබා සිටි මිචෙල් ස්වෙප්සන්ගේ කඩුලු දෙකයි ඔහු එලෙස දවා ගත්තේ. නේදන් ලයන් නොදැවී ලකුණු 15යි.

ඔස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කැමරන් ග්‍රීන් ලකුණු 77ක් රැස් කළ අතර, උස්මාන් කවාජා ලකුණු 71ක් ලබා ගත්තා. ඇලේක්ස් කෙරී ලකුණු 45යි.

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් කඩුලු 4ක් දවා ගත්තා. අසිත ප්‍රනාන්දු හා ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිම නිමා වන විට ඔවුන් ශ්‍රී ලංකාව පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු 212ට වඩා ඉදිරියෙන් පසු වූ ලකුණු ප්‍රමාණය 109ක්.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඔස්ට්‍රේලියානු දග පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ පන්දුවාර 22.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 113ක් පමණයි.

දිමුත් කරුණාරත්න හා පැතුම් නිස්සංක ලකුණු 37 ක සබදතාවයක් පළමු කඩුල්ලට ගොඩ නැගුවා. දිමුත් ලකුණු 23කට දැවී ගිය අතර, පැතුම් ලකුණු 14 යි.

දිනේෂ් චන්දිමාල් ලකුණු 13කටත්, ඕෂද ප්‍රනාන්දු ලකුණු 12කටත්, ධනංජය ද සිල්වා ලකුණු 11කටත් දැවී ගියා.

සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී නේදන් ලයන් ලකුණු 31කට කඩුලු 4ක් දවා ගත්තා. ට්‍රැවිස් හෙඩ් පන්දුවාර 2.5ක් පමණක් යොමු කරමින් ලකුණු 10කට කඩුලු 4ක් දවා ගැනීම කැපී පෙනුණා.

මේ අතර, කොවිඩ් 19 ආසාදනය වූ ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස්ට දින පහක කාලයක් හුදෙකලා වී සිටීමට සිදු වන බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද ආරම්භ වීමට පෙර ඔහුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අනාවරණය වූ අතර, ඒ හේතුවෙන් මැතිව්ස් වෙනුවට ඕෂද ප්‍රනාන්දු කොවිඩ් ක්‍රීඩක ආදේශ කිරීම් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට ආදේශ කිරීමටයි කටයුතු කෙරුණේ.

Leave a comment