Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකා 20යි 20 ලීගයට ශ්‍රී ලංකාවෙන් 10 ක් ; හිමිවන වැටුප මෙන්න

දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත නවතම පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා මේ වන විට වැඩිම විදෙස් ක්‍රීඩකයින් පිරිසක් ගිවිසුම්ගත වී ඇති දෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය ඊයේ (10) පස්වරුවේ නිවේදනය කළේ මේ වන විට ප්‍රධාන (marquee) ක්‍රීඩකයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් තරගාවලිය සදහා ගිවිසුම්ගත වී ඇති බවයි.

කෙසේ වෙතත්, එම ක්‍රීඩකයින් කවුරුන්ද යන්න ඔවුන් නිවේදනය කර නැහැ.

නමුත්, ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ එංගලන්ත ක්‍රීඩකයින් 11 දෙනෙකු ද එම ක්‍රීඩකයින් අතරට අයත් බවයි.

ඒ අතරට ඔයින් මෝර්ගන්, ජේසන් රෝයි, ජොස් බට්ලර්, ලියම් ලිවින්ග්ස්ටන් හා මොයීන් අලී යන ක්‍රීඩකයින් ද ඇතුළත්.

අත්සන් කළ ක්‍රීඩකයින් අතරට කිසිදු පාකිස්තාන ක්‍රීඩකයෙකු ඇතුළත්ව නැහැ.

දකුණු අප්‍රිකා නවතම 20යි 20 ලීගයේ කණ්ඩායම් හයේම හිමිකාරීත්වය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම්වල හිමිකරුවන් සතු වීම ඊට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් ඉහළම ගෙවීමක් සහිත ක්‍රීඩකයා ලෙස මේ වන විට ගිවිසුම්ගත වී ඇත්තේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරයි.

ඔහු අමෙරිකානු ඩොලර් 200,000 ක (රුපියල් කෝටි 7 ක් පමණ) මුදලක් යටතේයි ගිවිසුම්ගත වී ඇත්තේ.

චාමික කරුණාරත්න ඩොලර් 150,000 ක මුදලක් යටතේ ගිවිසුම්ගත වී ඇති අතර, මහීෂ් තීක්ෂණ හා මතීෂ පතිරණට අමෙරිකානු ඩොලර් 100,000 බැගින් වටිනාමක් හිමිව තිබෙනවා.

ජනවාරි හා පෙබරවාරි මාසවලදී පැවැත්වීමට නියමිත මෙම ලීගය සදහා අකිල ධනංජය ගිවිසුම්ගත වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 75,000 ක වටිනාකමක් යටතේයි.

නිරෝෂන් දික්වැල්ල, සීක්කුගේ ප්‍රසන්න හා නුවන් ප්‍රදීප් අමෙරිකානු ඩොලර් 50,000 ක් බැගින් වූ මුදලක් යටතේ ගිවිසුම්ගත වී ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

අමෙරිකානු ඩොලර් 30,000 බැගින් වූ වටිනාකමක් යටතේ ධනංජය ලක්ෂාන් හා විශ්ව ප්‍රනාන්දු ගිවිසුම්ගත වී තිබෙනවා.

සෑම කණ්ඩායමක් සදහාම ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සකස් කර ගත හැකියි.

ඉදිරි සති කිහිපයේ දී තරගාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වීමට නියමිතයි.

Leave a comment