Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකාවට පැනවූ දඩුවමත් සමග ලෝක කුසලානයට කණ්ඩායම් සෘජුව සුදුසුකම් ලබා ගන්නේ මෙහෙමයි

එංගලන්තය සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී නියමිත කාලය තුළ පන්දුවාර යවා නිමා කිරීමට නොහැකි වීම හේතුවෙන් අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනින් දකුණු අප්‍රිකාවට හිමිව තිබූ එක් ලකුණක් කපා හැරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගැනීමත් සමග සුපර් ලීගයේ පළමු 8 දෙනා අතරට පිවිසෙමින් 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමේ දකුණු අප්‍රිකා බලාපොරොත්තු සදහා මේ වන විට දැඩි අභියෝගයක් එල්ල වී තිබෙනවා.

මෙතෙක් ප්‍රසාද ලකුණු 79 ක් ලබා සිටි දකුණු අප්‍රිකාවට මේ වන විට ප්‍රසාද ලකුණු 78 ක් හිමිව ඇති අතර, ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

8 වැනි ස්ථානයේ රැදී සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ප්‍රසාද ලකුණු 88 ක් ද,10 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 77 ක් ද, 11 වැනි ස්ථානය හිමි කර ගෙන සිටින අයර්ලන්තයට ප්‍රසාද ලකුණු 68 ක් ද හිමියි.

2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලැබීමට සුපර් ලීගයේ පෙරමුණේ පසුවන කණ්ඩායම් 8 සදහා පමණක් අවස්ථාව පවතින අතර, ඒ අනුව මේ වන විටත් නවසීලන්තය, සත්කාරක ඉන්දියාව, එංගලන්තය, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය සුදුසුකම් ලබා අවසන්.

සුපර් ලීගය යටතේ දකුණු අප්‍රිකාවට ඉතිරිව ඇති අවසන් තරගාවලිය වන්නේ නෙදර්ලන්තයට එරෙහි තරග දෙකයි. එම තරග දෙකම ජය ගතහොත් දකුණු අප්‍රිකාවට ප්‍රසාද ලකුණු 98 ක් හිමි කර ගත හැකියි.

ශ්‍රී ලංකාවට සුපර් ලීගය යටතේ ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇත්තේ නවසීලන්තයට එරෙහි අභියෝගාත්මක තරග 3යි. නවසීලන්තයේ දී පැවැත්වෙන එම තරග තුනම ඔවුන් ජයගතහොත් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 107 ක් ලබා ගත හැකියි.

අයර්ලන්ත කණ්ඩායම සිය අවසන් සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන්නේ බංග්ලාදේශයට එරෙහිවයි. එම තරගාවලියේ තරග තුනම අයර්ලන්තය ජය ගතහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු 98 ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකාව සමග සම තත්ත්වයට පත් විය හැකියි.

එසේ වුවහොත් දකුණු අප්‍රිකාව හා අයර්ලන්තය අතරින් දල ලකුණු ලබා ගැනීමේ වේගය මත ඉදිරියෙන් පසුවන කණ්ඩායමටයි ප්‍රසාද ලකුණු සටහනේ ඉහළ ස්ථානයක් හිමි වන්නේ.

නමුත් ශ්‍රී ලංකාව ඉතිරි තරග තුනම ජයගතහොත් දකුණු අප්‍රිකාව හා අයර්ලන්තය යන කණ්ඩායම් දෙකටම ලෝක කුසලානය සදහා සෘජුව සුදුසුකම් ලබා ගත නොහැකි වන අතර, ශ්‍රී ලංකාව අනිවාර්යයයෙන්ම ලෝක කුසලානය සදහා සෘජුව සුදුසුකම් ලබා ගන්නවා.

ශ්‍රී ලංකාව තරග දෙකක් ජය ගනිමින් එක් තරගයක් වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අවසන් වුවහොත් ද, ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 8 අතරට පිවිසෙමින් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත හැකියි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව එක් තරගයක් හෝ පරාජයට පත්වුවහොත්, අනෙකුත් තරග ප්‍රතිපල තමන්ට වාසි සහගත ලෙසට අවසන් වෙතැයි ශ්‍රී ලංකාවට අපේක්ෂාවෙන් පසුවීමට සිදු වනවා.

තරග දෙකක් පමණක් ජයගතහොත් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 97 ක් පමණක් ලබා ගත හැකි බැවින්, දකුණු අප්‍රිකාව හා අයර්ලන්තය යන රටවල් දෙකටම ශ්‍රී ලංකාව පසු කර යාමේ අවස්ථාව උදා වනවා.

ශ්‍රී ලංකාව නවසීලන්තයේ දී එක් තරගයක් පමණක් ජය ගෙන, තරග දෙකක් පරාජයට පත්වුවහොත් ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගත නොහැකි වනවා.

සුපර් ලීගය සදහා රටවල් 13 ක් ඇතුළත් අතර, ලෝක කුසලානය සදහා සෘජුව සුදුසුකම් ලබා නොගන්නා රටවල් 5 සුදුසුකම් ලැබීමේ තරගාවලියක් සදහා ක්‍රීඩා කළ යුතු වනවා. එම සුදුසුකම් ලැබීමේ තරගාවලියට අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය නොමැති තවත් රටවල් 5 ක් ද ක්‍රීඩා කරන අතර, එම තරගාවලියේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් පමණක් ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබනු ඇති.

Leave a comment