Ultimate magazine theme for WordPress.

තියුණු අවසානයක් සමගින් චෙන්නායි කණ්ඩායමට අවසන් පන්දුවේ දී සුපිරි ජයක්

Match Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී තවත් තියුණු අවසානයක් සහිත තරගයක් දැක බලා ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමි කර දෙමින් තරගාවලියේ 38 වන තරගය අද(26) අබුඩාබි හී දී නිමා වුණේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට කඩුලු 2ක ජයක් හිමි කර දෙමින්.

අවසන් පන්දුව දක්වා ක්‍රියාත්මක වූ මෙම තරගයෙන් පරාජයට පත් වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

තරගය ජය ගැනීම සදහා චෙන්නායි පිලට ලකුණු 172ක ඉලක්කයක් හිමි වූ අතර, ඉනිමේ 19 වැනි පන්දුවාරයේ දී රවීන්ද්‍ර ජඩේජා විසින් සුපිරි පිතිහරඹයක නිරත වෙමින් චෙන්නායි කණ්ඩායම ජයග්‍රහනය අසලටම රැගෙන යාමට සමත් වුණා. අවසන් පන්දුවාරයට ලකුණු 4ක් පමණක් ජයග්‍රහනය සදහා අවශ්‍ය වූ නමුත්, එය සම්පූර්ණ කිරීමට අවසන් පන්දුව තෙක්ම බලා සිටීමට චෙන්නායි පිලට සිදු වූයේ සුනිල් නාරායන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ යි.

  • කාසියේ වාසිය හා කණ්ඩායම් දෙක

තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

Kolkata Knight Riders XI: S Gill, V Iyer, N Rana, R Tripathi, A Russell, E Morgan, D Karthik, S Narine, L Ferguson, V Chakaravarthy, P Krishna

Chennai Super Kings XI: F du Plessis, R Gaikwad, M Ali, A Rayudu, S Raina, MS Dhoni, R Jadeja, S Curran, S Thakur, D Chahar, J Hazlewood

  • KKR 171/6 (20)

පළමුවෙන් පන්දුවට පහර දුන් කොල්කටා ඉනිම ලකුණු 171ක් දක්වා රැගෙන යාමට නිටිෂ් රානා, දිනේෂ් කාර්තික් හා ඇන්ඩ්‍රි රසල් ප්‍රමුඛ පසුපෙල පිතිකරුවන් සමත් වුණේ රාහුල් ත්‍රිපාති ලබා දුන් පදනමෙන් සවිමත් වෙමින්.

අංක 3 පිතිකරු වූ ත්‍රිපාති පන්දු 33කින් ලකුණු 45ක් රැස් කළා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 4ක් සමගින්. එම ශක්තිමත් පදනමෙන් සවිමත් වූ කොල්කටා කණ්ඩායමට වේගවත් අවසානයක් හිමි කර දුන් නිටිෂ් රානා පන්දු 27කින් ලකුණු 37ක් නොදැවී ලබා ගත් අතර, ඇන්ඩ්‍රි රසල් පන්දු 15කින් ලකුණු 20ක් ලබා ගත්තා.

දිනේෂ් කාර්තික් ලකුණු 26(11)යි. නායක ඔයින් මෝර්ගන් මෙම ඉනිමේ දී පන්දු 14කින් රැස් කළේ ලකුණු 8ක් පමණයි.

ආරම්භක පිතිකරුවන් වූ ෂුබ්මන් ගිල් පළමු පන්දුවාරයේ දී ම ලකුණු 9කට දුවද්දී දැවී ගිය අතර, වෙන්කටේෂ් අයියර් ලකුණු 18ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර් ලකුණු 20කට කඩුලු 2ක් ද, ජොෂ් හේසල්වුඩ් ලකුණු 40කට කඩුලු 2ක් ද, රවීන්ද්‍ර ජඩේජා ලකුණු 21කට එක් කඩුල්ලක් ද බිද හෙලුවා.

  • CSK 172/8 (20)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි පිලට සාර්ථක ආරම්භයක් ලබා දීමට රුටුරාජ් ගයික්වඩ් හා ෆෆ් ඩු ප්ලෙසිස් සමත් වුණේ පළමු කඩුල්ලට ලකුණු 74ක් එක් කරමින්. ගයික්වඩ් ලකුණු 40(28)කට දැවී ගිය අතර, ඩු ප්ලෙසිස් ලකුණු 43(30)යි. ගයික්වඩ්ගේ ඉනිම හයේ පහර 3කින් හා හතරේ පහර 2කින් වර්ණවත් වුණා. ඩු ප්ලෙසිස්ගේ ඉනිමට ඇතුළත් වූ හතරේ පහර ගණන 7ක්.

මොයීන් අලී ලකුණු 32(28)යි. අම්බටි රයිදු ලකුණු 10කටත්, සුරේෂ් රයිනා ලකුණු 11කටත්, මහේන්ද්‍ර සිං දෝනි එක් ලකුණක්ටත් දැවී ගියා.

අවසන් පන්දුවාර 2 තුළ තරගය ජය ගැනීම සදහා චෙන්නායි පිලට ලකුණු 26ක් අවශ්‍ය වුණා. ඒ අනුව 19 වන පන්දුවාරයේ දී ක්‍රියාත්මක වූ රවීන්ද්‍ර ජඩේජා හයේ පහර 2ක් හා හතරේ පහර 2ක් එල්ල කළේ තරගය ජය ගැනීමේ සියලු බලාපොරොත්තු සිය කණ්ඩායමට නතු කරමින්.

ප්‍රසිද් ක්‍රිෂ්නා යොමු කළ එම පන්දුවාරයට චෙන්නායි කණ්ඩායම ලකුණු 22ක් රැස් කළ බැවින් අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට චෙන්නායි කණ්ඩායමට අවශ්‍ය වූ ලකුණු සංඛ්‍යාව 4ක්.

තරගයේ අවසන් පන්දුවාරය සුනිල් නාරායන් විසින් යොමු කරනු ලැබුවා. එහිදී සෑම් කරන්ගේ හා ජඩේජාගේ කඩුලු දවා ගත් නාරායන් අවසන් පන්දුව දක්වා තරගය රැගෙන යාමට සමත් වුණා. ජඩේජා පන්දු 8කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 22ක්.

අවසන් පන්දුවට තරගය ජය ගැනීමට එක් ලකුණක් අවශ්‍ය වූ අතර, එය දීපක් චහාර් විසින් සම්පූර්ණ කිරීමත් සමග චෙන්නායි පිලට කඩුලු 2ක තියුණු ජයක් හිමි වුණා.

තරගයේ වීරයා ලෙස රවීන්ද්‍ර ජඩේජා සම්මානයෙන් පිදුම් ලැබුවා.

මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ද යළි හිමි කර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

Leave a comment