Ultimate magazine theme for WordPress.

ඩක්වර්ත් ලුවිස් වරදියි, බංග්ලාදේශය ඉලක්කය නොදැනම පන්දුවට පහර දෙයි

තරගය ජය ගැනීම සදහා තමන් හඹා යා යුතු ලකුණු සංඛ්‍යාව නිවැරැදිව නොදැන නවසීලන්ත කණ්ඩායම සමග පැවැති දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට අද(30) සිදු වුණා.

ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක කිසිසේත් සිදු නොවිය යුතු ආකාරයේ වැරැදීමක් සිදුවීම හේතුවෙන්.

නේපියර්හි පැවැති තරග‍යට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව බංග්ලාදේශයට තරගය ජය ගැනීම සදහා අවශ්‍ය ලකුණු සංඛ්‍යාව වැරැදියට ගණනය කිරීම මෙම ගැටලුව ආරම්භ වීමට හේතු වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත ඉනිමට අවස්ථා කිහිපයකදී වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව ඔවුන්ගේ ඉනිම අවසන් කිරීමට තරග නිළධාරීන් පියවර ගත්තේ පන්දුවාර 17.5ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 173ක් ලබා සිටියදී ද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමගයි.

අනතුරුව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව බංග්ලාදේශයට පන්දුවාර 16කදී තරගය ජය ගැනීම සදහා ලකුණු148ක් අවශ්‍ය බවට ප්‍රකාශ කෙරුණා.

කෙසේ වෙතත්, බංග්ලාදේශ ඉනිම ආරම්භ වී පන්දු 9ක් ක්‍රියාත්මක වීමෙන් පසුව තරගය මද වේලාවකට අත්හිටුවීමට සිදු වුණේ බංග්ලාදේශයට හඹා යා යුතු නිවැරැදි ඉලක්කය කුමක් දැයි ඇති වූ ගැටලුව හේතුවෙන්.

පසුව විනිසුරුවන් විසින් කණ්ඩායම් දෙකට ප්‍රකාශ කළේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 16කදී ලකුණු 170ක් බවයි.

නමුත් එම ජයග්‍රාහී ඉලක්කය ද නිවැරැදි ඉලක්කය නොවුණු අතර, ඉනිමේ 13 වන පන්දුවාරය ද අවසන් වීමෙන් පසුවයි බංග්ලාදේශයට ලකුණු 171ක් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තරගය ජය ගැනීම සදහා ලබා ගත යුතු බවට ප්‍රකාශ කෙරුණේ.

කෙසේ වෙතත්, බංග්ලාදේශයට නියමිත පන්දුවාර 16 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 142 ක් පමණයි.

ඒ අනුව මෙම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 28ක ජයක් හිමි කර ගත් නවසීලන්තය, දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සමත් වුණා.

බංග්ලාදේශ කණ්ඩායම නවසීලන්තයේ දී නවසීලන්තයට එරෙහිව අඛණ්ඩය පරාජයට පත් වූ 31 වැනි තරගය මෙයයි.

ඔවුන් මෙතෙක් නවසීලන්තයේ දී නවසීලන්තයට එරෙහිව කිසිදු තරගයක් ජය ගැනීමට සමත් වී නැහැ.

Leave a comment