Ultimate magazine theme for WordPress.

ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරේ දී ශ්‍රී ලංකාවට තරග 13ක්; ඉන්දියාවට එරෙහිවත් තරගාවලියක්

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවන අදියර ලබන අගෝස්තු මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ, එංගලන්තය සහ ඉන්දියාව අතර එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියත් සමගයි.

ලබන අගෝස්තු මාසයේ සිට 2023 වසරේ ජූනි මාසය දක්වා ක්‍රියාත්මක වන දෙවැනි අදියරට අයත් වන තරග 5කින් යුත් අනෙක් ටෙස්ට් තරගාවලි වන්නේ දෙසැම්බර් මාසයේ ආරම්භ වන අලුබදුන තරගාවලිය පමණයි.

ලබන වසරේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයට අයත් ටෙස්ට් තරගාවලිය, ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවන අදියරට අදාළව පැවැත්වෙන තරග 4කින් යුත් එකම ටෙස්ට් තරගාවලිය වීම විශේෂත්වයක්.

ඊට අමතරව තරග 3 බැගින් වන ටෙස්ට් තරගාවලි 7ක් සහ තරග 2 බැගින් වන ටෙස්ට් තරගාවලි 17ක් දෙවැනි අදියරට අයත්.

පළමු අදියරේ දී මෙන්ම දෙවැනි අදියරේ දී ද කණ්ඩායම් 9 විසින් සිය රටේ දී සහ ඉන් පිටත තරගාවලි 3 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම සියලු තරගාවලි සම්බන්ධයෙන් අවසන් තීරණය ගෙන තිබුණේ 2018 වසරේ දී යි.

දෙවැනි අදියරේ දී වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ එංගලන්තයයි.

ඔවුන් තරග 22ක් ක්‍රීඩා කරන අතර, ඉන්දියාව තරග 19ක් ද, ඔස්ට්‍රේලියාව තරග 18ක් ද, දකුණු අප්‍රිකාව තරග 15ක් ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

වත්මන් ලෝක ටෙස්ට් ශූරයින් වන නවසීලන්තය දෙවැනි අදියරේ දී ක්‍රීඩා කරන්නේ තරග 13ක් පමණයි.

ශ්‍රී ලංකාව, පාකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් ද ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ තරග 13ක්.

බංග්ලාදේශය තරග 12ක් පමණක් ක්‍රීඩා කරන අතර, තරග 2 බැගින් යුත් තරගාවලි 6ක් ක්‍රීඩා කරන එකම රටද බංග්ලාදේශයයි.

ශ්‍රී ලංකාව මෙම අදියරේ දී ඔස්ට්‍රේලියාවට, පාකිස්තානයට සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව මෙරට දී තරග 2 බැගින් වන ටෙස්ට් තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඊට අමතරව බංග්ලාදේශයේ දී සහ නවසීලන්තයේ දී තරග 2 බැගින් වන ටෙස්ට් තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඉන්දියාවේ දී තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියක් ද ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ අනුව එංගලන්තය සහ දකුණු අප්‍රිකාව සමග ශ්‍රී ලංකාව දෙවැනි අදියරේ දී තරග වදින්නේ නැහැ.

අප මීට පෙර ද වාර්තා කළ පරිදි විවිධ ටෙස්ට් තරගාවලි සදහා විවිධ තරග සංඛ්‍යාවක් ඇතුළත්ව තිබීම ප්‍රසාද ලකුණු සටහනට අනවශ්‍ය බලපෑමක් සිදු කරන්නේ නැහැ.

ඒ අනුව ඒ ඒ කණ්ඩායම් ක්‍රීඩා කරන තරග සංඛ්‍යාවට අදාළව වෙන්ව ඇති (ජය ගතහොත් ලබා ගත හැකි) ප්‍රසාද ලකුණු සංඛ්‍යාව සහ ක්‍රීඩා කිරීමෙන් පසුව ලබා ගත් ජයග්‍රහන මත හිමි වූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවට අනුව ලකුණු ප්‍රතිශතය සකස් කර ප්‍රසාද ලකුණු සටහන තීරණය කරනු ඇති.

එම ක්‍රමවේදය සදහා ඉදිරියේ දී අයි.සී.සී විධායක කමිටු රැස්වීමේ දී අනුමැතිය හිමිවීමට නියමිතයි.

පළමු අදියරේ දී (2019-2021 දක්වා පැවැති අදියර) තරගාවලියක් සදහා ලකුණු 120ක් පිරිනැමුණු අතර, ටෙස්ට් තරගයක් සදහා හිමි වන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව තීරණය වූයේ තරගාවලියකට අදාළව පැවැති තරග සංඛ්‍යාව අනුවයි.

කෙසේ වෙතත්, ලකුණු ලබා දීමේ යෝජිත ක්‍රමවේදය අනුව දෙවැනි අදියරේ දී තරගාවලියකට අදාළ තරග සංඛ්‍යාව කුමක් වුවත්, එක් තරග ජයක් වෙනුවෙන් ප්‍රසාද ලකුණු 12ක් ද, ජය පරාජයෙන් තොරව අවසන් වන තරගයක් සදහා ප්‍රසාද ලකුණු 4ක් ද, ලකුණු සම වන අවස්ථාවකදී ප්‍රසාද ලකුණු 6ක් ද හිමි වනු ඇති.

පන්දුවාර යැවීමේ වේගය නිසි පරිදි පවත්වා ගැනීමට නොහැකි වූ විට, නියමිත කාලය තුළ යැවීමට අපොහොසත් වන සෑම පන්දුවාරයකටම එක් දඩුවම් ලකුණක් බැගින් මෙම අදියර් දී ද පනවනු ලබනවා.

එය අදාළ කණ්ඩායම හිමි කර ගෙන ඇති ප්‍රසාද ලකුණුවලින් කපා හැරෙනු ඇති.

Leave a comment