Ultimate magazine theme for WordPress.

ජොෆ්ර ආචර්ට අනතුරු ඇගවීමක් සමග දඩ පනවයි

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට දඩ නියම කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ, කණ්ඩායමේ ජෛව ආරක්ෂිත උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන්.

දඩ පැනවීමට අමතරව ඔහුට නිල අනතුරු ඇගවීමේ ලිපියක් ද ක්‍රිකට් ආයතනය විසින් ලබා දී ඇති බව සදහන්.

පනවන ලද දඩ මුුදල කොපමණක් ද යන්න එංගලන්ත ක්‍රිකට් ආයතනය අණාවරණය කර නැහැ.

පසුගිය සදුදා 25 හැවිරිදි ජොෆ්ර ආචර් සවුත්හැම්ටන් සිට(කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගය පැවැති) මැන්චෙස්ටර් වෙත(දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන) පැමිණෙන අතරතුර සිය නිවස වෙත ගොස් ඇති බවටයි චෝදනා එල්ල වුණේ.

එම වරද ඔහු ඊයේ(17) පැවැති විනය පරීක්ෂණයේ දී පිළිගෙන ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජෛව ආරක්ෂිත ක්‍රමවේද යටතේයි පැවැත්වෙන්නේ.

ඒ අනුව කිසිදු ක්‍රීඩකයෙකුට බාහිර පාර්ශවයක් සමග සම්බන්ධතා පැවැත්වීමට මෙම කාලසීමාවේ දී හැකි වන්නේ නැහැ.

ඒ අනුව ජෛව ආරක්ෂිත උපදෙස් නොසලකා කටයුතු කළ ජොෆ්ර ආචර් දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත් කිරීමට පසුගියදා එරට ක්‍රිකට් ආයතනය පියවර ගත් අතර, මේ වන විට ඔහුව දින පහක කාලයක් ස්වයං නීරෝධායනයට ද ලක් කර තිබෙනවා.

ජොෆ්ර ආචර් ලබන 21 වනදා සංචිතය හා එක්වීමට නියමිතව ඇතත් ඊට පෙර ඔහුට කොරෝනා සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණ දෙකකින් සමත්වීමට ද සිදු වනවා.

Leave a comment