Ultimate magazine theme for WordPress.

ජැෆ්නා ස්ටැලියන්ස් අවලංගු කිරීමට හේතු IPG ආයතනය පහදයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියරට එක් වූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය අවලංගු කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තරගාවලියේ ප්‍රවර්ධක සමාගම වන IPG ආයතනය කරුණු පැහැදිලි කිරීමක් සිදු කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය ඔස්සේ IPG ආයතනය පෙන්වා දෙන්නේ කරුණු කිහිපයක් මත පදනම්ව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය හිමිව තිබූ ස්ටැලියන් ස්පෝර්ට් ලිමිටඩ් (Stallion Sports Limited) සමග පැවැති ගිවිසුම අවලංගු කිරීමට සිදු වූ බවයි.

“ද්වේශ සහගත ප්‍රකාශයටන්ට පදනම් වූ Jaffna Stallions කණ්ඩායමේ පසුගිය හිමිකරු වූ Stallion Sports Limited සමාගම, ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකිරීම, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මගින් පනවා ඇති දූෂණ විරෝධී ආචාර ධර්ම පද්ධතියට අනුකූලතාවක් නොදැක්වීම සහ ගිවිසුම් ප්‍රකාරව හිඟ මුදල් නොපියවීම ඔවුන්ගේ ගිවිසුම අවලංගු කිරීම සඳහා මූලිකවම බලපෑ කරුණු අතර විය.” යනුවෙන් IPG ආයතනය සදහන් කළා.

මෙම තත්වය පිළිබඳ අවස්ථා ගණනාවකදී වාචිකව හා ලිඛිතව ස්ටැලියන්ස් හිමිකරුවන් දැනුවත් කළ ද ඊට අනුකූලතාවක් දක්වන බවට නිරීක්ෂණය නොවූ බවත්, මූල්‍ය එකඟතාවන් ඒකපාර්ෂවීය ලෙස වෙනස් කිරීමට ද හිමිකරුවන් විසින් උත්සාහ කළ බවත්, IPG ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

“ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රවර්ධක ලෙස මෙබඳු ව්‍යාජ සහ වංචා සහගත හැසිරීම් අප අනුමත නොකරන අතරම මෙම තරගාවලිය සඳහා සම්බන්ධ වී සිටින සියලු පාර්ෂවයන්ගේ අවංක අභිලාශයන් වෙනුවෙන් පෙනී සිටීම අපගේ ප්‍රමුඛතම කාර්යභාරයක් වන්නේය. එමෙන්ම වංචාකාර හැසිරිම් පිටුදකිමින් ඊට එරෙහිව කටයුතු කිරීමට ද මැලි නොවන බව දන්වා සිටින්නෙමු.”

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ආචාර ධර්මයන්ට අනුකූල නොවීම, ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකිරීම ආදී Stallion Sports Limited සමාගමේ වංචාකාරී හැසිරීම පිළිබඳව ලංකා ප්‍රිමියර් ලීග් හි ප්‍රවර්ධක ලෙස අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ද මේ පිලිබඳව විධිමත් සාකච්ඡාවක නිරත වූ අතර එහි නිගමනය මත Stallion Sports Limited සමාගමේ හි ගිවිසුම අවලංගු කිරීමට සමාගම කටයුතු කරන ලදි.”

Lyca සමූහයේ සභාපති අලිරාජා සුභාස්කරන් මහතා Jaffna කණ්ඩායමේ නව හිමිකාරීත්වය මේ වන විට ලබා ගෙන ඇති අතර, ඔවුන් විසින් මෙම කණ්ඩායම Jaffna Kings යන නමින් එළැඹෙන තරගාවලිය සදහා එක් කරනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඇති කර ගත් ගිවිසුම් ප්‍රකාරව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග ප්‍රවර්ධක මෙන්ම විකාශන අයිතිය මුළුමනින්ම IPG සමාගම සතු වනවා.

“මෙම තරගාවලියේ නිල ප්‍රවර්ධක, විකාශන හිමිකම දරන්නා ලෙස මෙහි විකාශන අයිතිය රූපවාහිනී නාලිකාවක් වෙත පැවරීම සඳහා අනූන හිමිකමක් IPG සමාගමට ඇති අතර සුදුසුකම් සපුරාලමින් මෙහි විකාශන හිමිකම් ලබා ගැනීම සඳහා ඉදිරිපත් වන රූපවාහිනි නාලිකා සමග සාකච්ඡා පැවැත්වීම සහ ගිවිසුම් ප්‍රකාරව ඒ සඳහා අභිප්‍රාය දක්වන නාලිකාවක් සමග ගිවිසුම්ගත වීමේ පුර්ණ හිමිකම සමාගම සතුවේ. සියලු නෛතික තත්වයන් සම වඩාත් විනිවිද බවකින් යුතු ක්‍රියාවලියකින් අනතුරුව ශ්‍රී ලංකාව තුළ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය විකාශනය කිරිමේ අයිතිය සුප්‍රීම් ටිවී නාලිකාව වෙත පැවරීමට IPG සමාගම කටයුතු කරන ලදී.”

Leave a comment