Ultimate magazine theme for WordPress.

චාමික කරුණාරත්නට වසරක අත්හිට වූ තරග තහනමක්

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව වසරක අත්හිට වූ තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාවේ දී නිමා වූ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමේ වගන්ති උල්ලංඝනය කරමින් ඔහු කටයුතු කිරීම හේතුවෙන්.

ජාතික කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි කාලය තුළ සිදු වූ බව කියන විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් පත් කළ අතර, එහිදී චාමිකට එරෙහිව එල්ල වූ චෝදනා සියල්ල ඔහු විසින් පිළිගෙන ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව විමර්ශන කමිටුව විසින් සිය වාර්තාව තුළින් ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ චාමිකට එරෙහිව වසරකට අත්හිට වූ වසරක තරග තහනමක් පැනවීමටයි.

එමෙන්ම චාමික කරුණාරත්නට එරෙහිව ඇමෙරිකානු ඩොලර් 5,000 ක දඩයක් ද නියම කර තිබෙනවා.

මේ අතර, ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට චාමික කරුණාරත්න ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ලිඛිතව විමසීමක් සිදු කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යංශයේ නිළධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

එලෙස චාමික කරුණාරත්න ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර ඇත්තේ ඔහුට එරෙහිව ගත් විනය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් නොවන බවයි පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා  සදහන් කළේ.

ඔහු සුපුරුදු දක්ෂතා අතර නොසිටින බැවින් එම පියවර ගෙන ඇති බව ලේකම්වරයා කියා සිටියා.

Leave a comment