Ultimate magazine theme for WordPress.

චන්දිමාල්ගේ හුදෙකලා සටන අපතේ යයි; දකුණු අප්‍රිකාවට ලකුණු 28ක ජයක්

Match Report

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 28ක ජයක් වාර්තා කිරීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අද(10) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 164ක ඉලක්කයක් හිමි වූ නමුත්, ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 163ක් ලබා ගත්තා.

තරගයේ පළමු පන්දුවාරයේ දී ම ක්වෙන්ටන් ඩී කොක් දවා ගැනීම සදහා ශ්‍රී ලංකාවට ලද අවස්ථාක් ගිලිහී ගියේ විනිසුරු විසින් පිතිකරු දැවී නොගිය අයෙකු ලෙස නම් කිරීම හේතුවෙන්. දුෂ්මන්ත චමීර යොමු කළ එම පන්දුවාරයේ පස්වැනි පන්දුවටයි ඩී කොක් විසින් කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් වෙත එලෙස උඩ පන්දුවක් ලබා දුන්නේ.

ඊට පෙර පන්දුවේ දී ඩී කොක් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යොදා ගත් නමුත්, එය සාර්ථක වූයේ නැහැ. ඒ හේතුවෙන් පස්වැනි පන්දුවට ද විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යොදා ගැනීමට ශ්‍රී ලංකා නායකයා මැලිකමක් දක්වනු ලැබුවා.

පවර් ප්ලේ අවස්ථාව නිමා වන විට දකුණු අප්‍රිකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 47ක්.

එලෙස සිය ඉනිමට සාර්ථක අඩිතාලමක් ගොඩ නැගූ ක්වෙන්ටන් ඩී කොක් හා රීසා හෙන්ඩ්‍රික්ස් පළමු කඩුල්ලට ලකුණු 73ක සබදතාවයක් ගොඩ නැගුවේ පන්දුවාර 9.5ක් තුළයි. පළමු කඩුල්ල ලෙස ඩී කොක් ලකුණු 36(32)කට දැවී ගියේ වනිදු හසරංගගේ පන්දුවකට චරිත් අසලංක අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

අනතුරුව හෙන්ඩ්‍රික්ස් ලකුණු 38(30)කට දවා ගැනීමට වනිදු හසරංග සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම යළි තරගයට අවතීර්ණ කරමින්.

මෙම තරගයේ දී 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා ගත් මහීෂ් තීක්ෂණ යම් ප්‍රහාරයකට ලක් වූ නමුත්, දකුණු අප්‍රිකාවේ තෙවැනි කඩුල්ල ඔහු විසින් දවා ගත්තේ හෙන්රිච් ක්ලාසීන් ලකුණු 2ක් ලබා සිටියදීයි. තීක්ෂණ යොමු කළ පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන් ලකුණු 35ක් රැස් කළා.

ලකුණු 87 දී දකුණු අප්‍රිකා පිලේ තෙවැනි කඩුල්ල දැවී ගියත් අනතුරුව සිව්වන කඩුල්ල සදහා පන්දු 35කින් ලකුණු 65ක සබදතාවයක් ගොඩ නැගීමට ඒඩ්න් මාක්‍රම් හා ඩේවිඩ් මිලර් සමත් වුණා.

මාක්‍රම් පන්දු 33කින් ලකුණු 48ක් ලබා ගත්තේ හයේ පහර 2ක් හා හතරේ පහරක් සමගින්. තරගයේ 19 වන පන්දුවාරයේ දී ඔහු දැවී ගියේ නායක දසුන් ශානකගේ පන්දුවක් හමුවේයි. දසුන් යොමු කළ 19 වන පන්දුවාරයට ප්‍රතිවාදීන් ලබා ගත්තේ ලකුණු 6ක් පමණයි. දකුණු අප්‍රිකාවේ පිතිහරඹ රිද්මයට එය යම් බලපෑමක් එල්ල කළා.

ඩේවිඩ් මිලර් ලකුණු 26(15)කට දැවී ගියේ දුෂ්මන්ත චමීර යොමු කළ දකුණු අප්‍රිකා ඉනිමේ අවසන් පන්දුවාරයේ දී යි.

නැවත නැවතත් සිය දක්ෂතාවයන් ප්‍රදර්ශනය කළ ලොව අංක දෙකේ 20යි 20 පන්දු යවන්නා වන වනිදු හසරංග සිය පන්දුවාර 4 තුළ දී කඩුලු 2ක් දවා ගත්තේ ලකුණු 23ක් දකුණු අප්‍රිකාට ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක කඩුල්ල ලකුණු 34කට සීමා කරමින් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 11කට දුවද්දී දැවී ගියා.

භානුක රාජපක්ෂ මෙම තරගයේ දී ද ලකුණු නොලබා දැවී ගියේ පළමු පන්දුවෙන්මයි. එම පන්දුව නායක කේෂාව් මහරාජ් 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ යොමු කළ පළමු පන්දුව වීම ද විශේෂත්වයක්.

සාමාන්‍යයෙන් නිර්භය හා පීඩනයකින් තොර පිතිහරඹයක නිරතවන චරිත් අසලංක මෙම තරගයේ දී අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි නමුත්, ඔහුට අද මෙම ඉනිමේ දී සාර්ථක වීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. චරිත් පන්දු 19කින් රැස් කළේ ලකුණු 6ක් පමණයි.

සිය 6 වැනි ජාත්‍යන්තර 20යි 20 අර්ධ ශතකය වාර්තා කළ දිනේෂ් චන්දිමාල් පන්දු 54කින් නොදැවී ලකුණු 66ක් ලබා ගත්තේ හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමගින්.

නායක දසුන් ශානක ලකුණු 16කට දැවී ගිය අතර, පන්දු යැවීමෙන් සාර්ථක වුව ද පිතිහරඹයෙන් දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටින වනිදු හසරංග මෙම තරගයේ දී ලකුණු නොලබා දැවී ගියා. අංක 7 පිතිකරු ලෙස මෙම ඉනිමේ දී පන්දුවට පහර දීමට පිටියට පිවිසීමට සිදු වූ ධනංජය ද සිල්වා ලකුණු 1යි.

චාමික කරුණාරත්න පන්දු 14කින් නොදැවී ලකුණු 22ක් රැස් කළේ හයේ පහර 2ක් ද සමගින්.

මෙම ඉනිමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් වාර්තා කළ නිලකුණු පන්දු ප්‍රමාණය 49ක්.

පන්දු යැවීමේ දී Bjorn Fortuin, අන්රිච් නොකියා, කේෂාව් මහරාජ්, ටැබ්රයිස් ශම්සි හා ඩ්වේයන් ප්‍රෙටෝරියස් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Leave a comment