Ultimate magazine theme for WordPress.

කෝටි 90 ත්‍යාග මුදල කාටද? බොලිවුඩ් තරු පිරිවරා ටයිටන්ස් – රෝයල්ස් අද අවසන් ගැටුමේ

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(29) රාත්‍රී 8ට අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අවසන් තරගය සදහා තරග වදින්නේ පළමු වරට අයි.පී.එල් පිටියට එක් වූ හර්ඩික් පාන්ඩ්යාගේ නායකත්වයෙන් යුත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හා 2008 වසරේ පැවැති පළමු අයි.පී.එල් තරගාවලියේ ශූරතාවය දිනූ සංජු සැම්සන්ගේ නායකත්වයෙන් යුත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.

රෝයල්ස් කණ්ඩායම 2008 වසරේ ශූරතාවය දිනා ගැනීමෙන් පසුව අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

එම කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ හා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන කුමාර් සංගක්කාරයි. ලසිත් මාලිංග රාජස්ථාන් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

අද රාත්‍රියේ ඇරඹෙන අවසන් මහා තරගය නැරඹීම සදහා එක්ලක්ෂ දසදහසකට (110,000) වැඩි ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණෙනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

එසේ වුවහොත් එය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ තරගයක් නැරඹීම සදහා පැමිණි විශාලතම ප්‍රේක්ෂක සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක් වනු ඇති බවටයි සදහන් වන්නේ.

තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 20ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 90ක් පමණ) ත්‍යාග මුදලක් හිමි වීමට නියමිත බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 13ක ත්‍යාග මුදලක් හිමි වනු ඇති.

තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හිමිව ඇති ත්‍යාග මුදල ඉන්දීය රුපියල් කෝටි 7ක්.

සිව්වැනි ස්ථානය දිනා ගත් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම හිමි කර ගත් ත්‍යාග මුදල ඉන්දීය රුපියල් කෝටි 6.5ක් බව සදහන්.

ගුජරාට් කණ්ඩායම හා රාජස්ථාන් කණ්ඩායම මෙවර තරගාවලියේ දී අවස්ථා දෙකකදී එකිනෙකා මුණ ගැසුණා.

එම තරග දෙකේම ජය හිමි කර ගත්තේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.

මේ අතර, අද පැවැත්වෙන අවසන් මහා තරගයට පෙර සමාප්ති උත්සවයක් ද සංවිධාන කර තිබෙනවා.

පස්වරු 6.30ට එම උත්සය ආරම්භ කිරීමට නියමිත බවයි තරගාවලියේ සංවිධායකයින් සදහන් කළේ.

සමාප්ති උත්සවය සදහා ජනප්‍රිය බොලිවුඩ් තරු රැසක් එක් වීමට නියමිත අතර, බොලිවුඩ් නලු රන්වීර් සිං හා ගායන ශිල්පී ඒ.ආර්. රහ්මන් ද ඒ අතරට අයත්.

Leave a comment