Ultimate magazine theme for WordPress.

කෝටි 11 ක් වෙනුවෙන් ජේසන් රෝයි එංගලන්තයට පිටුපාන ලකුණු

එංගලන්ත පිතිකරු ජේසන් රෝයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සමග පවතින සිය ගිවිසුම අවලංගු කිරීමට සූදානමින් පසුවන බව එංගලන්තයේ dailymail මාධ්‍ය ආයතනය වාර්තා කර තිබෙනවා.

අමෙරිකාවේ පැවැත්වීමට නියමිත Major League Cricket තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන් වාසිදායක ගිවිසුමක් අත්සන් කිරීම සදහා ඔහු එලෙස එංගලන්ත ක්‍රිකට් ආයතනය සමග ඇති ගිවිසුම අවලංගු කිරීමට සූදානමින් පසුවන බවයි dailymail වාර්තා කර ඇත්තේ.

ජේසන් රෝයිට පවුම් 300,000 හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වසර දෙකක ගිවිසුමක් Los Angeles Knight Riders කණ්ඩායම විසින් ඉදිරිපත් කර ඇති බව සදහන්.

2023 ලෝක කුසලාන තරගාවලිය සදහා වන එංගලන්ත කණ්ඩායමේ සිය ස්ථානය ද අනතුරේ දමමින් ඔහු මෙම ගිවිසුම අත්සන් කිරීමට සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

ලබන ඔක්තෝබර් මාසය දක්වා ජේසන් රෝයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සමග අත්සන් තබා ඇත්තේ වර්ධක ගිවිසුමක් (incremental deal).

ඒ ඔස්සේ එංගලන්ත ක්‍රිකට් ආයතනයට ඔහුගේ ක්‍රීඩා දිවිය සම්බන්ධයෙන් තීරණ ගැනීමට යම් බලයක් හිමි වනවා. එම ගිවිසුමේ වටිනාකම වසරක කාලයක් සදහා සදහන් වන්නේ පවුම් 66,000 ක් හෙවත් රුපියල් කෝටි 2.4ක් ලෙසයි.

මේ අතර, එංගලන්ත ක්‍රීඩක රීස් ටොප්ලි ද මේ ආකාරයෙන්ම ගිවිසුමක් Major League Cricket තරගාවලිය වෙනුවෙන් අත්සන් කිරීමට සැලසුම් කරමින් සිටින බව ද සදහන්.

Major League Cricket තරගාවලිය ජූලි 13 වැනිදා සිට 30 වැනිදා දක්වා ටෙක්සාස් හී දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට එක්වන කණ්ඩායම් හයෙන් හතරක් සදහාම අයි.පී.එල් කණ්ඩායම් හිමිකරුවන් විසින් ආයෝජනය කර තිබීම විශේෂත්වයක්.

වනිදු හසරංග, මර්කස් ස්ටොයිනිස්, ක්වෙන්ටන් ඩී කොක්, අන්රික් නොකියා, ග්ලේන් පිලිප්ස් යන විදෙස් ක්‍රීඩකයින් Major League Cricket තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව සිටින අතර, ට්‍රෙන්ට් බෝල්ට් හා ඇඩම් සම්පා ද ඉදිරියේ දී තරගාවලිය සදහා එක්වීමට සූදනමින් සිටිනවා.

Leave a comment