Ultimate magazine theme for WordPress.

“හිතාමතා දුර්වල ලෙස ක්‍රීඩා කළ බවට එල්ල කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කරනවා” : SLC

දකුණු අප්‍රිකාවට එරෙහිව නිමා වූ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී ඇතැම් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හිතාමතා දුර්වල ලෙස ක්‍රීඩා කළ බවට ඇතැම් මාධ්‍ය මගින් එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා සංචිතයේ කිසිදු ක්‍රීඩකයෙකුට එරෙහිව එවැනි කිසිදු චෝදනාවක් කණ්ඩායම් කළමණාකාරීත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබී නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

20යි 20 තරගාවලිය සදහා ද ක්‍රීඩා කළේ දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ම බව මෙම නිවේදනය ඔස්සේ ක්‍රිකට් ආයතනය සිහිපත් කරනවා.

සදාචාරාත්මක පුවත්පත් කලාව අනුගමනය කරන ලෙසට, අසත්‍ය හා ගොතන ලද ප්‍රවෘත්ති ප්‍රකාශයට පත් කළ අදාළ ප්‍රවෘත්ති ආයතනවලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලා සිටින බවත්, මෙවැනි අසත්‍ය මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සූදානමට ද බලපෑම් එල්ල කරනු ඇති බවත් ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන්.

එවැනි අසත්‍ය මාධ්‍ය වාර්තා ක්‍රීඩකයින්ට මානසිකව ද බලපෑම් කරනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.

Leave a comment