Ultimate magazine theme for WordPress.

ක්‍රීඩකයින් හෙට සිට දින 12ක් වැඩ

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 13 දෙනෙකු හෙට(1) සිට යළි පුහුණුවීම් කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔවුන් දින 12ක නේවාසික පුහුණු කදවුරකට එක් වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කොළඹ ක්‍රිකට් සමාජයේ දී මෙම පුහුණුවීම් කටයුතු සිදු කෙරෙන අතර, සම්පූර්ණ කාලය අවසන් වන තුරු ඔවුන් හෝටලයක නවාතැන් ගනු ඇති.

පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු ද මෙම පුහුණු කදවුර සදහා එක් වීමට නියමිතයි.

හෙට දිනයේ දී ක්‍රීඩකයින් හෝටලයේ සිටම අභ්‍යන්තර ශාරීරික යෝග්‍යතා පුහුණුවකට එක් වන අතර, ජූනි දෙවැනි දා සිට ඔවුන් ක්‍රීඩාංගනයේ සිට පුහුණු කටයුතු ආරම්භ කරන බව සදහන්.

රජය විසින් පනවා ඇති සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව මෙම පුහුණු කදවුර ක්‍රියාත්මක කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ උපදෙස් ප්‍රකාරව පුහුණු කටයුතු සිදු කෙරෙනු ඇති.

ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයින් ප්‍රවාහනය කිරීම සදහා විෂබීජහරණය කළ වාහන යොදා ගන්නා අතර, සෞඛ්‍ය බළධාරීන් විසින් මේ වන විටත් නවාතැන් ගන්නා හෝටලය සහ පුහුණු කටයුතු සිදු කරන ස්ථානය නිරීක්ෂණය කර ඇත්තේ අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශන ලබා දීම සදහායි.

මෙම දින 12ක කාලය තුළ කිසිදු ක්‍රීඩකයෙකුට පෞද්ගලික කටයුතු සදහා හෝටලයෙන් හෝ ක්‍රීඩාංගනයෙන් බැහැරට යා නොහැකි බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Leave a comment