Ultimate magazine theme for WordPress.

කණ්ඩායම් 10ත් සමග අලුත් වන IPL 2022 තරග ආකෘතිය නිවේදනය කෙරේ

ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග්(IPL) ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන ආකෘතිය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය අද(25) නිවේදනය කළා.

තරගාවලියට එක්වන නව කණ්ඩායම් දෙක සම්බන්ධයෙන් තොරතුරු ප්‍රකාශයට පත් කෙරුණු මාධ්‍ය නිවේදනය ඔස්සේයි එරට ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් තොරතුරු ප්‍රකාශයට පත් කළේ.

මෙතෙක් කණ්ඩායම් 8ක් තරග වැදුණු අයි.පී.එල් තරගාවලියට ලබන වසරේ සිට කණ්ඩායම් 10ක් එක්වනවා.

අප මීට පෙර ද වාර්තා කළ පරිදි එම කණ්ඩායම් දෙක ලක්නව් හා අහ්මදාබාද් යන නගර කේන්ද්‍ර කර ගනිමිනුයි තරග වදින්නේ.

RPSG සමූහය විසින් ලක්නව් නගරය කේන්ද්‍ර කර ගත් කණ්ඩායමේ හිමිකාරීත්වය ඉන්දීය රුපියල් කෝටි 7,090 කට හිමි කර ගත් අතර, CVC Capital සමාගම විසින් අහ්මදාබාද් නගරය කේන්ද්‍ර කර ගත් නව කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 5,625 ක මුදලකටයි.

ලංසු ඉදිරිපත් කළ යුතු මූලික මුදල වශයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 2,000ක්.

සමාගම් 22ක් විසින් ටෙන්ඩර් ලේඛනය මිලදී ගෙන තිබූ නමුත්, ලංසු ඉදිරිපත් කිරීමට අද ඉදිරිපත්ව සිටියේ සමාගම් 9ක් පමණයි.

ඒ අතරට මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමේ හිමිකරුවන් වන Lancer Capital සමාගම මෙන්ම අදානි සමාගම ද ඇතුළත්.

ඩුබායි හී දී ලංසු ඉදිරිපත් කිරීමේ කටයුතු සිදු කෙරුණු අතර, පැය 6ක පමණ ක්‍රියාවලියකින් පසුවයි නව කණ්ඩායම් දෙකේ හිමිකරුවන් නිවේදනය කෙරුණේ.

නව කණ්ඩායම් දෙකේ හිමිකරුවන් විසින් අදාළ සියලු මුදල් වසර 10ක කාලයක් තුළ දී ගෙවා නිම කළ යුතුයි.

ලක්නව් නගරය කේන්ද්‍ර කර ගත් කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගත් RPSG සමූහය මීට පෙර ද 2016 හා 2017 වසරවලදී අයි.පී.එල් තරගාවලිය හා සම්බන්ධ වුණා.

ඒ, චෙන්නායි සුපර් කිංග්ස් හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් දෙකට පැනවූ වසර දෙකක තහනමත් සමග තරගාවලියට ඇතුළත් කෙරුණු රයිසින් පූනේ සුපර්ජයින්ට් කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගනිමින්.

අහ්මදාබාද් නගරය කේන්ද්‍ර කර ගත් නව කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගත් CVC Capital සමාගම යනු යුරෝපය, ආසියාව හා අමෙරිකාවේ කාර්යයාල පිහිටා ඇති ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක්.

ඔවුන් මීට පෙර Formula 1 හි පාර්ශවකරුවෙකු වූ අතර, ස්පාඤ්ඤයේ ප්‍රධාන පාපන්දු ලීගය වන ලා ලීගා හි සුළුතර කොටස් ද මෑතකදී හිමි කර ගත්තා.

මෙතෙක් ක්‍රියාත්මක වූ තරග ආකෘතියට අනුව අයි.පී.එල් තරගාවලියක් සදහා ඇතුළත් වූ සමස්ත තරග සංඛ්‍යාව 60ක්.

කෙසේ වෙතත්, ලබන වසරේ සිට තරගාවලිය සදහා තරග 74ක් ඇතුළත් වන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළා.

එහිදී එක් කණ්ඩායමක් සිය සත්කාරක ක්‍රීඩාංගනයේ දී (home) හා ප්‍රතිවාදී කණ්ඩායමේ සත්තාරක ක්‍රීඩාංගනයේ දී (away) තරග 7 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ් අනුව මූලික වටයේ දී එක් කණ්ඩායමක් ක්‍රීඩා කරන තරග ප්‍රමාණය 14ක්.

මෙතෙක් පැවැති ක්‍රමවේදය අනුව ද එක් කණ්ඩායමක් තරග 14ක් ක්‍රීඩා කළ අතර, ලබන වසරේ සිට කණ්ඩායම් සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගිය ද එක් කණ්ඩායමක් ක්‍රීඩා කරන තරග ප්‍රමාණය ඉහළ නැංවීමට පියවර ගෙන නැහැ.

කෙසේ වෙතත්, තරගාවලියේ සමස්ත තරග සංඛ්‍යාව 60 සිට 74 දක්වා තරග 14කින් ඉහළ ගොස් තිබෙනවා.

Leave a comment