Ultimate magazine theme for WordPress.

“කණ්ඩායමක් වුණාම ගැටලු එනවා. ඒක සාමාන්‍ය දෙයක්” : දසුන් ශානක

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී හෙට(25) ඇෆ්ඝනිස්තානයට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දී කාසියේ වාසිය තීරණාත්මක සාධකයක් වනු ඇති බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා.

තරගාවලිය ආරම්භ වීමට පෙර අද පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

Also Read : ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන ගැටුමට සියල්ල සූදානම් ; නරඹන්නේ කොහොමද ? තරගාවලියේ සියලු තොරතුරු මෙන්න

පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කිරීමේ දී දිවා කාලයේ දී පන්දු යවන්නන්ට වාසි දායක තත්ත්වයක් නොමැති බවත්, දිවා කාලයේ දී පිතිකරුවන්ට වැඩි වාසිදායක තත්ත්වයක් පවතින බවත් දසුන් පෙන්වා දුන්නා.

රාත්‍රී කාලයේ දී විදුලි ආලෝකය මැද පන්දු යැවීමේ දී පන්දුවේ දෝලනයක් සිදු වන බැවින් මෙම ක්‍රීඩාංගනයේ දී පළමුව පන්දුවට පහර දීම වැදගත් බවයි ශ්‍රී ලංකා නායකයා සදහන් කර සිටියේ.

මීට පෙර පැවැති තරගවලදී යොදා ගත් සංයුතියම පළමු එක්දින තරගය සදහා ද යොදා ගැනීමට අපේක්ෂා කරන බව පවසා සිටි නායක දසුන් ශානක කියා සිටියේ ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනෙකු කණ්ඩායමට ඇතුළත් වනු ඇති බවයි.

මේ අතර, ඇතැම් ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු හේතුවෙන් කණ්ඩායමේ මානසිකත්වයට බලපෑමක් සිදුව ඇත්දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට දසුන් ශානක මෙලෙස අදහස් දක්වා සිටියා.

“මානසිකත්වය හොදයි (ක්‍රීඩකයින්ගේ). ක්‍රීඩා කණ්ඩායමක් වුණාම ගැටලු එනවා. ඒක සාමාන්‍ය දෙයක්. අපිට විතරක් නෙවෙයි අනිත් කණ්ඩායම්වලටත් අර්බුදකාරී තත්ත්වයන් මතුවෙනවා. ඒවයින් උඩට ඇවිල්ලා අපි හොදට ක්‍රීඩා කරන එකයි වැදගත් වන්නේ. මම හිතනවා අපි කණ්ඩායමක් විදිහට හොද තැනක ඉන්නවා දක්ෂතා දක්වන්න.”

“අද ක්‍රීඩා කරන කණ්ඩායම් ගත්තම කිසිම කණ්ඩායමක් අවතක්සේරු කරන්න බැහැ. මොකද විශේෂයෙන්ම 2022 වෙද්දි 20යි 20 තරගාවලි ලෝකය පුරාම තියෙනවා. හැම කණ්ඩායමකම ක්‍රීඩකයො ඉන්නව ලෝකෙ වටේ ගිහිල්ලා අත්දැකීම් අරගෙන. ඉතිං ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අද වෙද්දි හොද තැනක ඉන්නවා. අපිටත් ඔවුන් සමග ක්‍රීඩා කරනකොට අභියෝගයක් තියෙනවා.” 

“අපි දන්නව ප්‍රතිවාදී කණ්ඩායම කවුද කියලා. මොකද අපි ලෝක කුසලානයේ දී ත්, ආසියානු කුසලානයේ දී ත්, ක්‍රීඩා කරා. නමුත් ඒ 20යි 20 තරග. අපිට සැලසුම් තියෙනවා. විශේෂයෙන්ම රෂීඩ් ඛාන් ගත්තොත් අපි ඒ තරගාවලි දෙකේදීම එයාව හොදින් පාලනය කරා. අපි බලාපොරොත්තුවෙනවා එයාට හොදින් මුහුණ දෙන්න.” 

මේ අතර, 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර ඔස්ට්‍රේලියාවේ දී ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංකට සිය ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගනිමින් යළි ක්‍රිකට් පිටියට පිවිසීමට තවත් කෙටි කාලයක් ගත වනු ඇති බව ද මෙහිදී ශ්‍රී ලංකා නායකයා කියා සිටියා.

එමෙන්ම ආබාධයක් හේතුවෙන් වළලුකර ශල්‍යකර්මයකට මුහුණ දුන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මාස දෙකහමාරක පමණ කාලයක් විවේක ගැනීමට ද වෛද්‍ය උපදෙස් ලැබී තිබෙනවා.

Leave a comment